30/06/2016
අපි මේ විකාරය ගැන කළින් කීවෙමු. එහෙත් සමහර දේවල් තේරුම් ගන්නට ඇඟ පුරා ගෑවිය යුතුම ය. ඇතමෙකුට තවත් නොතේරෙනු ඇත. එනම් උපාධි ප්‍රදානොත්සවයට අකුල් හෙළනවා කියා ය. නැත, උපාධි ප්‍රධානෝත්සවය මෙයිට වඩා ගුණාත්මක හරාත්මක හා උත්කර්ෂවත් විය යුතු ය. අප කියා සිටින්නේ නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් අප ගෙවිය යුතු නැත කියා ය. මෙහි බොහෝ දේ ගත් කල කුලපති හිමියන් පිරිනමන බම්බුව වගේම ය. හරසුන් ය, බොල් ය.
පරිපාලනය උපාධි උත්සවයට මිල නියම කර තිබුණි. සාතිශය බහුතරයක් උපාධි අපේක්ෂකයෝ උපස්තිථියෙහිත්/ අනුපස්තිථියෙහිත් ගෙවිය යුතු බැවින් ගෙවූහ. ඉන් ද බහුතරයක් ඇත්තෝ නොවූහ. නැත්තෝම ය. නමුත් නැත්තෝ කණකර උකස් කළහ. පොලියට ද ගත්හ. අතමාරුවට ද ඉල්ලා ගත්හ. ඇතැම්විට ලෙඩක් වූ විට ඉස්පිරිතාලේ බෙහෙත් නැති නිසා ෆාමසියට දෙන්නට ඉතුරු කළ මුදල ද මෙයට වියදම් කළහ.
අපූරුය, ගල්කිස්ස මහ හෝටලයෙන් ලැබෙන ආහාර වේලක් බුක්ති විඳ ඉඩකඩ සුවපහසුව ඇති සුවිසල් ශාලාවේ නිදහසේ සිට තම දුව පුතා කිරුළු පළඳිනා දක්නට අහිංසක දෙමාපියෝ බොහෝ දුර ගෙවා දිනගණන් කැපකොට පැමිණියහ. ලොබිය ප්‍රයිවට් බස් එක වගේ ය. අප කළින් කී තරු හෝටලයේ ආහාර වේලේ අපූරුව දකින්නට ඇති ය. කන්නට නම් දෙයක් නැති ය. මහා වතුර මලක් සහිත විලක් තිබුන ද පිපාසිතයෝ බොහෝ වූහ. නමුත් ඔබවත් දෙමාපියන්වත් නොදැක්ක උස වතුර වීදුරු පමණක් නොව බීම වීදුරු ද සහිත රුපියල් 3,500 කට ලබාදෙන ආහාර වේලක් එහි තිබුණි, ඒවා අපට නොවේ ය.
කී නොකී අක්‍රමිකතා බොහෝ ය. අම්මලා තාත්තලා මුදල් ගෙවූවේ කුමකටද කියා අදහාගත නොහැකිව ඇත. මේවාට විරුද්ධ වන්නේ ඒ මත ය. එනම් මුදලට විකිණෙන සමාජයක අත් උදව්කරුවන් නොවනු පිණිස ය.
මේවා පරිපාලනය විසින් පෙරොන්දු වූ පරිදි දැන් අහවර විය යුතු ය. සැබැවින් ම හෝ කිඹුල් නියායෙන් හෝ කඳුළු සැලූ සියලු දෙනාත් මෙම අක්‍රමිකතා වෙනුවෙන් පෙළගැසිය යුතු ය. විශ්වවිද්‍යාල පරිශ්‍ර යේ ගුණාත්මක වූ නිදහස් අධ්‍යාපනයේ සැබෑ අරුත්බර උපාධි ප්‍රදානෝත්සවයක් පැවැත්විය යුතු ය.