IMBS Psychology Students Association

IMBS Psychology Students Association හරිත සරසවි සිත් සෙවණ

🧠 අපේ මොළය Negative Thoughts වලට ඇදී යන්නේ ඇයි?(The Psychology of Negative Thinking)“ජීවිතයේ හොඳ දේවල් ගොඩක් තිබුණත්… එක...
21/07/2026

🧠 අපේ මොළය Negative Thoughts වලට ඇදී යන්නේ ඇයි?
(The Psychology of Negative Thinking)

“ජීවිතයේ හොඳ දේවල් ගොඩක් තිබුණත්… එක නරක සිදුවීමක් ගැනම අපේ මනස නැවත නැවත සිතන්නේ ඇයි?” 🤔

ඔබටත් මෙහෙම වෙලා ඇති…

දවස හොඳින් ගෙවුණත්, කෙනෙකු කියපු එක වචනයක්…
එක වැරැද්දක්…
එක අසාර්ථක අත්දැකීමක්…

අපේ මනස තුළ නැවත නැවත play වෙනවා.

“මම එහෙම කරන්න නොතිබුණා…”
“ඊළඟට මොනවා වෙයිද?”
“මට මේක කරගන්න පුළුවන්ද?”

මෙවැනි සිතුවිලි අපිට එන්නේ ඇයි? 🧠

අපේ මොළය නිර්මාණය වී ඇත්තේ මුලින්ම අපව ආරක්ෂා කිරීමටයි.

මනෝවිද්‍යාත්මකව බලන විට, මිනිස් මොළය survival mode එකට ඉතා ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා. විශේෂයෙන්ම amygdala කියන මොළයේ කොටස බිය, අනතුර, සහ තර්ජන හඳුනාගැනීමට වැදගත් භූමිකාවක් ඉටු කරනවා. ඒ නිසාම අපේ මනස හොඳ දේවල්වලට වඩා නරක දේවල් ගැන ඉක්මනින් අවධානය යොමු කරනවා.

මෙය මනෝවිද්‍යාවේදී “Negativity Bias” ලෙස හඳුන්වයි.

එනම්…

✨ ප්‍රශංසා 10ක් ලැබුණත් එක විවේචනයක් අපිට වැඩිපුර මතක සිටීම.
✨ සාර්ථකතා ගොඩක් තිබුණත් එක අසාර්ථකත්වයක් ගැන පමණක් සිතීම.
✨ හොඳ දවසක් තිබුණත්, එක කුඩා වැරැද්දක් මුළු දවසම නරක ලෙස දැනීම.

පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ negative information, positive information වලට වඩා මොළයේ වැඩි අවධානයක් ලබා ගන්නා බවයි. ඒ නිසාම negative thoughts ඉතා ඉක්මනින් ශක්තිමත් වෙන්න පුළුවන්.

💭 Negative Thoughts වැඩිවීමට හේතු මොනවාද?

🔹 1. Overthinking (අධික සිතුවිලි)

සිදු වූ වැරදි හෝ "එසේ සිදු වුවහොත් කුමක් වේද?" වැනි අදහස් (what-if scenarios) පිළිබඳව නැවත නැවතත් සිතීමෙන් කුඩා ගැටලුවක්, විශාල බියක් බවට පත්විය හැක. මෙය rumination ලෙසත් හඳුන්වයි. Rumination වැඩිවීම anxiety සහ depression සමඟ සම්බන්ධ බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත.

🔹 2. අනාගතය පිළිබඳ බිය (Fear of the Future)

“මොනවා වෙයිද?” කියන ප්‍රශ්නය අපේ මනසට ඉතා ප්‍රබල බලපෑමක් කරන එකක්.

මනෝවිද්‍යාත්මකව බලන විට, මිනිස් මොළය uncertainty (අවිනිශ්චිතභාවයට) කැමති දෙයක් නොවේ. මොළය හැමවිටම උත්සාහ කරන්නේ ඊළඟට මොනවා වෙයිද කියලා කලින්ම අනාවැකි කියන්නයි. එය අපව ආරක්ෂා කිරීමට ඇති ස්වභාවික ක්‍රමයක්.

නමුත් ප්‍රශ්නය වන්නේ, අනාගතය ගැන නිශ්චිත තොරතුරු නොමැති විට, මොළය බොහෝ විට හොඳම දේ නොවෙයි, නරකම දේ (worst-case scenario) සිතින් ගොඩනඟන එකයි.

උදාහරණයක් ලෙස,

* Interview එකකට යන්න කලින්, “මම fail වෙයි.”
* Doctor කෙනෙක් හමුවෙන්න යන්න කලින්, “ලොකු ලෙඩක් ඇති.”
* Message එකකට reply එකක් නැති වුණාම, “එයා මාත් එක්ක තරහ වෙලා ඇති.”

මෙවැනි සිතුවිලි බොහෝවිට සත්‍යය නොවෙයි. ඒවා මොළය විසින් “අනතුරක් ඇති වෙන්න පුළුවන්” කියලා හිතාගෙන නිර්මාණය කරන ආරක්ෂක අනාවැකි පමණයි.

🔹 3. අතීත අත්දැකීම්

අපි අත්විඳපු වේදනාකාරී සිදුවීම් සමහරවිට අද දවසේ අපේ සිතුවිලිවලට බලපාන්න පුළුවන්. Trauma, rejection, criticism, හෝ failure වගේ අත්දැකීම් මනස තුළ negative patterns ශක්තිමත් කරන්න පුළුවන්.

🔹 4. Sleep සහ Stress

නින්ද අඩුවීම සහ දිගුකාලීන stress මඟින් prefrontal cortex කියන තීරණ ගැනීම සහ සිතුවිලි පාලනය කරන මොළයේ කොටස දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා negative thoughts පාලනය කිරීම තවත් අමාරු වෙනවා.

🔹 5. Cognitive Distortions

මනස සමහරවිට සත්‍යය වඩාත් නරක ලෙස විකෘති කරලා දකින්න පුළුවන්. උදාහරණයක් ලෙස:

* All-or-nothing thinking — “මම සම්පූර්ණයෙන්ම අසාර්ථකයි.”
* Catastrophizing — “මේකෙන් හැමදේම නරක වෙයි.”
* Mind reading — “අනිත් අය මං ගැන වැරදි විදිහට හිතනවා ඇති.”

⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️

🌱 එහෙනම් Negative Thoughts පාලනය කරන්නේ කොහොමද?

සිතුවිල්ලක් ආවාම එය සමඟ සටන් කරන්න එපා.

එය නිරීක්ෂණය කරන්න.

මනෝවිද්‍යාත්මකව, සිතුවිල්ලක් “මම” නොවෙයි - එය “මගේ මනසට ආපු අදහසක්” පමණයි. ඒ නිසා ඒ සිතුවිල්ලට වහාම විශ්වාස කරන්න එපා.

ඔබෙන්ම අහන්න:

“මේ සිතුවිල්ල ඇත්තක්ද?”
“නැත්නම් මගේ බියෙන් නිර්මාණය වූ අදහසක්ද?”
“මේකට සාක්ෂි තියෙනවද?”
“වෙනත් විකල්ප පැහැදිලි කිරීමක් තියෙනවද?”

✨ Scientific methods කිහිපයක් මෙන්න:

✨ 1. Thought Journaling

ඔබට negative thought එකක් ආවම ඒක ලියන්න.
ඊට පස්සේ:

* සිතුවිල්ල මොකක්ද?
* ඒකට සාක්ෂි මොනවාද?
* ඒකට විරුද්ධ සාක්ෂි මොනවාද?
* වඩා balanced thought එක මොකක්ද?

මෙය CBT (Cognitive Behavioral Therapy) වල භාවිතා කරන ප්‍රධාන ක්‍රමයක්.

✨ 2. Cognitive Restructuring

“මට මේක බැහැ” කියන සිතුවිල්ල වෙනුවට
“මට මේක ඉගෙනගෙන හොඳට කරන්න පුළුවන්” කියලා වඩා යථාර්ථවාදී සිතුවිල්ලක් ගොඩනගන්න.

✨ 3. Deep Breathing

4 seconds inhale, 4 seconds hold, 6 seconds exhale වගේ හුස්ම ගැනීමේ ක්‍රම මඟින් nervous system එක සන්සුන් කරන්න පුළුවන්. මෙය stress response එක අඩු කිරීමට උපකාරී වේ.

✨ 4. Grounding Technique

5-4-3-2-1 method එක භාවිතා කරන්න:

* ඔබ දකින දේ 5ක්
* ඔබ ස්පර්ශ කරන දේ 4ක්
* ඔබ අසන ශබ්ද 3ක්
* ඔබ ගඳ දැනෙන දේ 2ක්
* ඔබ රස දැනෙන දේ 1ක්

මෙය mind එක present moment එකට ගෙන එන්න උදව් කරනවා.

✨ 5. Behavioral Activation

ඔබට හොඳ දැනෙන කුඩා ක්‍රියාකාරකම් කරන්න:

* ඇවිදීම
* ව්‍යායාම
* හිරු එළියට යාම
* හොඳ සංගීතයක් අසන්න
* විශ්වාසවන්ත කෙනෙකු සමඟ කතා කරන්න

ශාරීරික ක්‍රියාකාරකම් මඟින් mood-regulating chemicals වගේ serotonin සහ endorphins වැඩිවෙන්න පුළුවන්.

✨ 6. Self-Compassion

ඔබ ඔබටම කතා කරන විදිහ වැදගත්.
“මම වැරදි කළා” කියන එක වෙනුවට
“මම මනුෂ්‍යයෙක්. මටත් වැරදි වෙන්න පුළුවන්. මම ඉගෙන ගන්නවා” කියලා කතා කරන්න.

♻️♻️♻️♻️♻️♻️♻️♻️

🌿 අවසානයේ මතක තබාගන්න…

ඔබේ මනසට එන සෑම සිතුවිල්ලක්ම සත්‍යයක් නොවේ.

සිතුවිලි කියන්නේ ඔබේ මොළය නිර්මාණය කරන පණිවිඩ පමණයි.

ඔබේ මනස negative thoughts නිර්මාණය කළත්…
ඒවා ඔබේ ජීවිතය පාලනය කළ යුතු නැහැ.

ඔබේ මනස ඔබේ සතුරෙක් නොවේ…
එය ඔබේ මනස ඔබට තේරුම් ගැනීමට අවශ්‍ය මිතුරෙකි. 🌱

ඔබට negative thoughts නිතරම බලපානවා නම්, ඒ ඔබ දුර්වලයි කියනවා නෙවෙයි. ඒ ඔබේ මනසට support, awareness, සහ proper coping skills අවශ්‍ය බව පෙන්වන ලකුණක්.

❤️ ඔබේ මනස ගැන තේරුම් ගැනීමට මෙවැනි මනෝවිද්‍යාත්මක ලිපි සඳහා Follow කරන්න.

සටහන ✍🏻🫆
THARUSHI PERERA
Lecturer in Psychology (IMBS Green Campus)
Psychological Counselor
SEN Practitioner.

නව යෞවනත්වය තේරුම් ගනිමු.නව යෞවනවිය හිතන වැඩිහිටියන්ට අපිව තේරෙන්නෑ ... යන්න සලකා බැලීම අද වන විට කාලීන අවශ්‍යතාවයකි.අද...
10/07/2026

නව යෞවනත්වය තේරුම් ගනිමු.

නව යෞවනවිය හිතන වැඩිහිටියන්ට අපිව තේරෙන්නෑ ... යන්න සලකා බැලීම අද වන විට කාලීන අවශ්‍යතාවයකි.
අද සමාජයේ බොහෝ වාදවල දක්නට ලැබෙන ප්‍රධාන පරතරයක් වැඩිහිටි හා යෞවන අදහස්වල පවතින පරස්පරතාවය. ඒ පරතරය වයසෙන් මිනිස්සු අතර තියෙන එකක් නෙවෙයි. ඒක තියෙන්නේ හිතන විදි අතරයි.
අපි ජීවත් වෙන්නේ 21 වන සියවසේ. නමුත් අපිව තේරුම් ගන්න උත්සාහ කරන බොහෝ වැඩිහිටියන් තාමත් ජීවත් වෙන්නේ ඔවුන්ගේ නවයෞවන කාලයේ මතකයන් තුළ.

“අපිත් ඔය වයසින් ගියා”, “අපිටත් ඒක වෙලා තියෙනවා”, “අපි දන්නවා ඔයාට මොනවද හිතෙන්නේ”
මෙවැනි වාක්‍ය නවයෞවනවියට සැනසිල්ලක් දෙනවට වඩා, ඔවුන්ගේ හඬ තවත් සිරගත කිරීමක් කියල සිතෙනවා.

අද නවයෞවනවියට මුහුණ දෙන්න වෙලා තියෙන ලෝකය, පසුගිය පරම්පරාව ජීවත් වුණු ලෝකය නෙවෙයි.
අද තරුණයෙක්ට තියෙන ප්‍රශ්න, ආතතිය, තරඟය, සමාජ මාධ්‍ය වල පීඩනය, රැකියා අනාගතය ගැන ඇති අවිනිශ්චිතභාවය – මේ කිසිවක් “අපිත් ඔය වයසින් ගියා” කියලා සරල කරලා ඉවර කරන්න බැහැ.

වැඩිහිටියන්ගේ බොහෝ උපදෙස් හිත හොඳින් දෙන ඒවා. නමුත් ඒ උපදෙස් එන්නේ ඇහුම්කන් දීමෙන් පස්සේ නෙවෙයි, විවේචනයෙන් පස්සේ. තේරුම් ගන්නේ උත්සහයෙන් නෙවෙයි. නිවැරදි කරන්න කරන උත්සහයෙන්. හිතල බලලා කියන්න කලින් “එහෙම හිතන්න එපා” කියන වාක්‍ය.

නවයෞවනවියට ඕන වෙන්නේ සෑම වෙලාවකම විසඳුම් නෙවෙයි.
බොහෝ වෙලාවට ඔවුන්ට ඕන වෙන්නේ,
“ඔයා එහෙම හිතන එක සාමාන්‍යයි”
“මට ඔයාව ඇහෙනවා” "තේරුම් ගන්න පුළුවන්."
“ඔයාට ඒක අමාරුයි කියලා මට තේරෙනවා”
කියලා කියන වැඩිහිටියෙක්.

අද තරුණයෝ “හරිම අකීකරුයි” කියලා ලේබල් කරන එක පහසුයි.
නමුත් ඇත්තටම ඔවුන් කරන්නේ, ඔවුන්ට නොගැලපෙන පරණ ආකෘති ප්‍රශ්න කිරීම.

වැඩිහිටියන්ට නව යෞවනවිය තේරුම් ගන්න බැරි ප්‍රධාන හේතුවක් තියෙනවා.
ඔවුන් නව යෞවනවිය දිහා බලන්නේ,
“අපි හිටපු විදිහට”
“අපි ජය ගත්ත විදිහට”
“අපි ඉවසපු විදිහට”
"අපි මුහුණ දුන්න විදිහට"
ඒත් අද ලෝකය ඉල්ලන්නේ ... ගමන් කරන්නේ.. වෙනස් දිශාවකට වෙනස් විදියෙ ඉවසීමක්, වෙනස් වූ ශක්තියක්, වෙනස් සටනක් වෙනස් ඉලක්කයක් වගේම වෙනස් ම ආතතියක් එක්ක.

නවයෞවනවිය වැඩිහිටියන්ගෙන් ඉල්ලන්නේ පරිපූර්ණත්වය නෙවෙයි.
ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ව තේරුම් ගන්න පුංචි උත්සාහයක්.
අඩුම තරමින්, “මට ඔයාව සම්පූර්ණයෙන් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්, නමුත් මම අහගෙන ඉන්නම්” කියන අවංක වදන තිබුණොත්,
පරම්පරාවන් අතර ඇතිව තියෙන පරතරය විරුද්ධකම⁣ බොහෝවිට වැහිලා යන්න පුළුවන්.

මෙතන තේරුම් ගන්න ඉගෙන නොගත් ලෝක දෙකක්, එකිනෙකට මිශ්‍රවෙන්න ගන්න උත්සාහයකදි ඇතිවුණ අවබෝධ කර ගැනීමේ ගැටළුවක් මේක. ඒ නිසා නිවැරදි කෝණයකින් නිවැරදි දැක්මකින් ඒ ඒ වයස් සහ සමාජ තත්වයන් අවබෝධ කරගෙන මේ ගැටළුව නිරාකරණය කරගනිමු. 🙏 😊😊

✍🏻ගංගා වනිගරත්න
DPC 94

ඇයගේ ආදරයේ උමතුව රාගයද ? ❤️‍🩹❗ඇය රොෂෙල් නම් තිස්පස් හැවිරිදි වූ කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කල, කා අතරත් ජනප්‍රිය තරුණියක්...
03/07/2026

ඇයගේ ආදරයේ උමතුව රාගයද ? ❤️‍🩹❗

ඇය රොෂෙල් නම් තිස්පස් හැවිරිදි වූ කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කල, කා අතරත් ජනප්‍රිය තරුණියක්. ඇය ජීවත් වුනේ ඇය විසින්ම මවාගත් ආදර ලෝකයකයි. නමුත් කාටවත් නොකී ඇගේ ආදර ලෝකයේ කේන්ද්‍රස්ථානය වුණේ ලංකාවේ සුප්‍රසිද්ධම රූපවාහිනී රියැලිටි වැඩසටහනකින් රටේම ආදරය දිනාගත් දක්ෂ, කඩවසම් ගායන, නර්තන ශිල්පියෙක් වන "කවිෂ්ක".

කවිෂ්ක තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුමේ දාන හැම ඩාන්සින් වීඩියෝ එකක්ම, හැම ස්ටෝරි (Story) එකක්ම දැම්මේ තමන් වෙනුවෙන්මයි කියලා රොෂෙල් තරයේ විශ්වාස කළා.

ඇය හිතුවෙ කවිෂ්ක වීඩියෝ එකකදි දාන හිනාව, පාවිච්චි කරන සින්දු, සිංහල කැප්ෂන් (Captions) මේ හැමදේකින්ම ඔහු රොෂෙල්ට රහස් ආදර පණිවිඩ එවනවා කියලා.

"එයා ප්‍රසිද්ධ කෙනෙක්නේ ඒ නිසා එයාට කෙලින්ම මට ආදරෙයි කියන්න බෑ. ඒකයි එයා සින්දු වලින් ඉඟි කරන්නේ," ඇය ඇගේ සමීපතම මිතුරියකට පැවසුවා. මිතුරිය එය විහිළුවකට ගත්තත්, රොෂෙල් හිටියේ දැඩි විශ්වාසයක.

ඉතින්, කාලයත් එක්ක මේ තත්වය උත්සන්න වුණා. කවිෂ්ක සහභාගි වන කොළඹ පැවැත්වෙන හැම ප්‍රසංගයක්ම, ඩාන්සින් වර්ක් ෂොප් එකක්ම හොයලා බලලා රොෂෙල් එතනට යන්න පුරුදු වුණා.

ප්‍රසංග වේදිකාවේ ඉඳන් කවිෂ්ක සේරම රසිකයන් දෙස බලා අත වනද්දී, රොෂෙල් හිතුවේ ඔහු තමන් දිහා බලා අත වනනවා කියායි.
ඇය ඔහුට නිතරම දිගු ඉන්ස්ටග්‍රෑම් මැසේජ් සහ ආදර කවි යැව්වා. කවිෂ්කගෙන් පිළිතුරක් නොලැබෙද්දී, ඇය සිතුවේ "එයාගේ මැනේජර්ස්ලා මැසේජ් බලන නිසා එයා පරිස්සම් වෙනවා" කියායි.

දිනක් youtube එකේ වීඩියෝ බලද්දී ඇය දුටුවේ කවිෂ්ක තවත් ජනප්‍රිය වයසින් අඩු නිළියක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති බවයි. සාමාන්‍ය කෙනෙකුට මෙය යතාර්ථය වටහා ගන්න ඉඟියක් වුණත්, රොෂෙල්ගේ මනස එය වෙනස් විදියකටයි අර්ථකථනය කලේ.

"මේක බොරුවක්. කවිෂ්කගේ දෙමාපියන් සහ ප්‍රචාරක ආයතන එයාව බලහත්කාරයෙන් මේකට පටලවලා. එයා ඇත්තටම ආදරේ මට විතරයි. එයා ඉන්නේ ලොකු අසරණකමක."
රොෂෙල් දිනක් කවිෂ්කගේ ප්‍රසංගයක් අතරතුර වේදිකාවට බලහත්කාරයෙන් නැග " ඔයාට එයාව බඳින්න දෙන්නෙ නෑ, මමයි ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්" යයි මහ හඬ නංවමින් ඔහුව බදා ගැනීමට උත්සහ කලා. එහිදී ඇතිවූ නොසන්සුන්කාරී තත්වය නිසා ප්‍රසංගයේ ආරක්ෂක අංශ ඇයව වලක්වා ඇගේ දෙමාපියන්ට දැනුම් දුන්නා.

මෙම තත්වයේ ස්වභාවය:
රොෂෙල් පෙළුණේ Erotomania (එරොටෝමේනියාව) කියන දුර්ලභ මානසික තත්වයෙන්.
මේ තත්වයේ ස්වභාවය තමයි, තමන්ට වඩා සමාජීය වශයෙන් ඉහළ මට්ටමක ඉන්න ප්‍රසිද්ධ පුද්ගලයෙක් තමන්ට දැඩි ලෙස ආදරය කරනවා කියලා රෝගියා තුළ ඇති වන දැඩි, වෙනස් කළ නොහැකි විශ්වාසය.

ජීව විද්‍යාත්මක සාධක (Biological Factors)

එරොටෝමේනියාව (Erotomania) යනු Delusional Disorder (භ්‍රාන්තිමය ව්‍යාකූලතාවය) යටතට වැටෙන තත්ත්වයකි.

මොළයේ පණිවිඩ හුවමාරු කරන ඩොපමින් (Dopamine) සහ සෙරොටොනින් (Serotonin) මට්ටම්වල සිදුවන අසමතුලිතතාවයන් (Neurotransmitter Imbalance) නිසා මෙවැනි ස්ථාවර වැරදි විශ්වාසයන් (Delusions) ඇතිවීමට හේතුවක් විය හැකි බව පර්යේෂණවලින් යෝජනා කරනවා.
ඒ වගේම යථාර්ථය වටහා ගැනීමට සහ තර්කානුකූලව සිතීමට උදව් වන මොළයේ Frontal lobe සහ Temporal lobe යන කොටස්වල සිදුවන සියුම් අක්‍රමිකතා නිසා රොෂෙල්ට ලැබෙන උත්තේජන (උදා: කවිෂ්කගේ ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරි) නිවැරදිව විශ්ලේෂණය කරගත නොහැකි වීමට සම්බන්ධ විය හැකියි.

මනෝවිද්‍යාත්මක සාධක (Psychological Factors)

කවිෂ්ක පොදුවේ දමන පෝස්ට්, තමන් වෙනුවෙන්ම දැමූ ඒවා ලෙස සිතන්නට ගත්තා.
තමන්ගේ මතය තහවුරු වන සාධක පමණක් භාරගෙන (හිනාව, සින්දු), ඒ අතර ඒවා බිඳවැටෙන සාධක (වෙනත් පෙම්වතියක් සිටීම) "කුමන්ත්‍රණ" ලෙස බැහැර කිරීමට මනෝභාවය සෑදී තිබුනා. 35 හැවිරිදි රොෂෙල්ට තනිකම, ආදරය සහ අවධානය ලැබීමේ දැඩි අවශ්‍යතාවයක් පැවතුනු අතර සහ එය මනෝ ලෝකයකින් පියවා ගැනීමට උත්සාහ ගත් බව බොහෝ විට පෙනී යන කරුණකි.

සමාජීය සාධක (Social Factors)

නූතන සමාජ මාධ්‍ය (Instagram, YouTube) නිසා රසිකයන්ට තමන් කැමති තරුවලට සමීප වීමට ඇති ඉඩකඩ වැඩියි. මෙමගින් ඇතිවන ඒකපාර්ශ්වික බැඳම් රොෂෙල්ගේ මායාව තවදුරටත් පෝෂණය කලා.
ඇයට ප්‍රතිකාර සඳහා යොමුවීම ප්‍රමාද උනේම ලංකාවේ සාම්ප්‍රදායික සමාජය මෙය "පිස්සුවක්" හෝ "ලැජ්ජා නැතිකමක්" ලෙස දැකීම නිසා බව ප්‍රත්‍යක්ෂ වෙනවා.

සුව වීමේ මාවත:
ලංකාවේ සාම්ප්‍රදායික සමාජය මුලින්ම හිතුවේ රොෂෙල්ට "පිස්සුවක්" හෝ "ලැජ්ජාවක් නැතිකමක්" කියලයි. නමුත් ඇගේ මව සහ පියා ඇයව ලංකාවේ ප්‍රසිද්ධ මනෝ වෛද්‍යවරයෙක් (Psychiatrist) වෙත යොමු කිරීමට තරම් බුද්ධිමත් වුණා.

මනෝඋපදේශනය සහ ඖෂධ:
වෛද්‍යවරයා ලබාදුන් ඖෂධීය ප්‍රතිකාර සහ දිගුකාලීන මනෝවිද්‍යාත්මක උපදේශන (Cognitive Behavioral Therapy(CBT)) හරහා, තමන් ජීවත් වුණේ මනඃකල්පිත ලෝකයක බව රොෂෙල්ට ටිකෙන් ටික වැටහෙන්න ගත්තා.

අද වන විට රොෂෙල් සුවය ලබා සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. ඇය සමාජ මාධ්‍යවලින් ඈත්වී, තමන්ගේ සැබෑ ජීවිතයේ සතුට සොයාගෙන තිබෙනවා. මේ කතාවෙන් පැහැදිලි වෙන්නේ, මෙවැනි තත්වයන් පුද්ගලයෙකුගේ වැරද්දක් නොව, වෛද්‍ය ප්‍රතිකාර මඟින් සුව කළ හැකි මානසික සෞඛ්‍ය ගැටලුවක් පමණක් බවයි.

✍🏻Heminda Wickramasinghe
Batch - DPC 95

IMBS හරිත සරසවිය 𝗜𝗦𝗢 𝟵𝟬𝟬𝟭-𝟮𝟬𝟭𝟱 අන්තර්ජාතික තත්ත්ව කළමනාකරණ සහතිකයෙන් පිදුම් ලද වගයි!━━━━━━━━━━━අධ්‍යාපනයේ විශිෂ්ටත්වය කර...
02/07/2026

IMBS හරිත සරසවිය 𝗜𝗦𝗢 𝟵𝟬𝟬𝟭-𝟮𝟬𝟭𝟱 අන්තර්ජාතික තත්ත්ව කළමනාකරණ සහතිකයෙන් පිදුම් ලද වගයි!
━━━━━━━━━━━
අධ්‍යාපනයේ විශිෂ්ටත්වය කරා අප ගෙන යන ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් IMBS හරිත සරසවිය ISO 9001-2015 අන්තර්ජාතික තත්ත්ව කළමනාකරණ සහතිකය හිමි කරගෙන ඇත.
━━━━━━━━━━━
මෙම ජාත්‍යන්තර පිළිගැනීම, අපගේ ගුණාත්මක කළමනාකරණ පද්ධතිය, කාර්යක්ෂම ආයතනික පරිපාලනය, අඛණ්ඩ සංවර්ධනය, නිරන්තර ගුණාත්මක වැඩිදියුණු කිරීම සහ ශිෂ්‍ය කේන්ද්‍රීය සේවාවන් සඳහා අප දක්වන නොසැලෙන කැපවීම පිළිබිඹු කරයි.
━━━━━━━━━━━
ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල, ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් ජයග්‍රාහී පරපුරක් බිහිකිරීම වෙනුවෙන් අපගේ කැපවීම අඛණ්ඩව ඉදිරියට ගෙන යන අතර මේ දක්වා අප කෙරෙහි විශ්වාසය තැබූ අපගේ ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ,දෙමාපියන්, ආචාර්ය මණ්ඩලය, කාර්ය මණ්ඩලය වෙනුවෙන් අපගේ හදපිරි ස්තුතිය !
━━━━━━━━━━━
Marking another significant milestone in our journey towards excellence in education, IMBS Green University has successfully achieved the ISO 9001:2015 Quality Management System (QMS) Certification. This recognition reflects our unwavering commitment to quality management, effective institutional governance, continual improvement, operational excellence, and student-centered services.

We remain dedicated to nurturing a generation of winners through quality education aligned with both national and international standards. Our sincere appreciation goes to our students, parents, academic and administrative staff, alumni, and valued partners for their continued trust and support.

අභ්‍යන්තර පිබිදීම: වේගවත් ලෝකයක සන්සුන් මනසක ගමනඅද අපි ජීවත් වන්නේ තත්පරයෙන් තත්පරයට වෙනස් වන, තොරතුරු හා තාක්ෂණයෙන් පිර...
26/06/2026

අභ්‍යන්තර පිබිදීම: වේගවත් ලෝකයක සන්සුන් මනසක ගමන

අද අපි ජීවත් වන්නේ තත්පරයෙන් තත්පරයට වෙනස් වන, තොරතුරු හා තාක්ෂණයෙන් පිරුණු ලෝකයකය. බොහෝ විට අපේ දෑස් යොමුවී ඇත්තේ පිටත ලෝකයේ සිදුවන වෙනස්කම් සහ අපේක්ෂාවන් දෙස පමණි. නමුත් මෙම රූප රාමුව අපට පවසන්නේ අපේ සැබෑ ගමන සහ අරමුණ ඇත්තේ පිටත නොව, අපගේම මනසේ අභ්‍යන්තරයේ බවයි.

මනසේ වර්ධනය: මුල් බැසගත් වටිනාකම්

🌳රූපයේ දැක්වෙන ගස මගින් නිරූපණය වන්නේ අපගේ පෞරුෂයයි. ගසක් ශක්තිමත්ව වැඩීමට නම් එහි මුල් ගැඹුරටම කිඳා බැස තිබිය යුතුය. සමාජයේ කුමන කුණාටු ආවත්, අපේ සදාචාරාත්මක වටිනාකම් සහ දැනුම (බුද්ධිය) යන මුල් ශක්තිමත් නම්, අපට ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකිය. අද සමාජයට අවශ්‍යව ඇත්තේ හුදෙක් උපාධි සහ ධනය පමණක් නොව, ගැඹුරු ප්‍රඥාවෙන් පෝෂණය වූ පුද්ගලයන්ය.

නිර්මාණශීලී සිතුවිලි:

💡 අඳුරේ දැල්වෙන පහන
මනසක ඇති පහන සංකේතවත් කරන්නේ අපගේ නිර්මාණශීලීත්වයයි. ගැටලුවක් හමුවේ අතරමං නොවී, එය දෙස වෙනස් කෝණයකින් බලා විසඳුම් සෙවීමේ හැකියාව අප සතු විය යුතුය. නවෝත්පාදනය යනු හුදෙක් තාක්ෂණය පමණක් නොවේ; එය ඕනෑම අර්බුදයක් මැද වුවද ශුභවාදීව සිතා ඉදිරියට යාමේ හැකියාවයි.

පරිවර්තනය:

"වෙනස් වීමට බිය නොවන්න"

🦋 සමනළයා, අපට කියා දෙන්නේ ඉතා වැදගත් පාඩමකි වෙනස් වීම (Transformation) යනු ජීවිතයේ පැවැත්මයි. දළඹුවාගේ ස්වභාවය අතහැර සමනළයෙකු බවට පත්වන විට එය අභියෝගාත්මක විය හැකිය. නමුත් පරණ සිතුවිලි, වැරදි ආකල්ප සහ සීමා කිරීම්වලින් මිදීමෙන් තොරව අපට අපේ පූර්ණ විභවය ළඟා කරගත නොහැක. අද සමාජයට අවශ්‍ය වී ඇත්තේ පරණ මතවාදවල එලබී නොසිට, කාලය සමඟ පරිණාමය වන නම්‍යශීලී මනසකි.
සත්‍යය දෙසට යන ගමන.

🚪රූපයේ ඉහළින්ම ඇති දොරටුව සහ පඩිපෙළ සංකේතවත් කරන්නේ අපගේ අවසාන ඉලක්කයයි. එය 'සත්‍යය' අවබෝධ කර ගැනීමයි. ජීවිතයේ සෑම පියවරක්ම, සෑම අත්දැකීමක්ම අපව රැගෙන යා යුත්තේ පටු ආකල්පවලින් ඔබ්බට, සත්‍යය සහ මනුෂ්‍යත්වය සොයා යන ගමනකටය.

අප අද සමාජයක් ලෙස ඉගෙන ගත යුතු ප්‍රධානතම පාඩම මෙයයි,

▪️පිටත ලෝකය පාලනය කිරීමට පෙර ඔබේ මනස පාලනය කරන්න.
▪️ප්‍රශ්න හමුවේ පසුබට නොවී නිර්මාණශීලී විසඳුම් සොයන්න.
▪️අතීතයේ දේවලින් මිදී, නිරන්තරයෙන් ඔබව අලුත් කරගන්න (Metamorphosis).
▪️ප්‍රඥාව සහ තීක්ෂණ බුද්ධිය ඔබේ මූලය කරගන්න.

සැබෑ පිබිදීමක් ඇති වන්නේ අපේ මනස තුළය. එතැනින් පටන් ගන්නා ගමන, අනිවාර්යයෙන්ම ඔබව සත්‍යය සහ සාර්ථකත්වය කරා රැගෙන යනු ඇත.

✍🏻Sherin Kaushalya Perera
Batch - DPC 89

‘ඇයි මේක ගත්තේ?’ කියලා ඔබත් කවදා හරි හිතලා තියෙනවද?ඔබටත් මේ අත්දැකීම හුරුද?  ඔබ ආස දෙයක් හදිසියේම මිලදී ගෙන, පස්සේ හිත ඇ...
18/06/2026

‘ඇයි මේක ගත්තේ?’ කියලා ඔබත් කවදා හරි හිතලා තියෙනවද?
ඔබටත් මේ අත්දැකීම හුරුද?

ඔබ ආස දෙයක් හදිසියේම මිලදී ගෙන, පස්සේ හිත ඇතුළේ “ඇයි මේක ගත්තේ?” කියලා හිතේ නිහඬ ගැටුමක් ඇති වෙන එක? අද social media යුගයේ මේක ප්‍රසිද්ධම මාතෘකාවක් වෙලා තියෙන්නේ මෙන්න මේ නිසා.

Luxury items, latest trends, influencersලාගේ ජීවන රටා, මේවා අපට නිතරම social media වලින් පෙන්වනවා. ඒ පෙනීම අතර, “මට මේක අවශ්‍ය ද?” කියන ප්‍රශ්නයට පෙර, “මටත් මේක තිබ්බනම් හොදයි” කියන හැඟීම ඉදිරියට එනවා.
මෙතැනදි දෙකක් පැහැදිලිව වෙනස්

Impulsive spending - ඒ කියන්නේ මොහොතක උද්දීපනය, ආකර්ෂණය, සහ social validation එකට කැමැත්තෙන් සිදුවෙන, සැලසුම් නොකළ මිලදී ගැනීමක්. එයට බලපාන්නේ දෘශ්‍ය ආකර්ෂණ, limited-time offers, peer influence, සහ “missing out” වෙන්න තියෙන බය.

නමුත් Post-purchase dissonance - ඒ කියන්නේ, ඒ මිලදී ගැනීමෙන් පසුව එන, “මම සම්පූර්ණයෙන්ම හරි තීරණයක් ද ගත්තේ?” "මට මේක හරියන්නේ නැද්ද?", "මම මුදල් නාස්ති කලාද?" කියන අපේ මනසේ ඇති වෙන අභ්‍යන්තර ගැටුම. අපි අප ගැන තබාගන්නා “මම මුදල් හොඳින් පාලනය කරන, වගකීමෙන් මුදල් වැය කරන කෙනෙක්” කියන හැඟීම, අපේ ක්‍රියාවට ගැළපෙන්නේ නැති වෙද්දි, හිත ඇතුළේ සුළු, නමුත් බර ගැටුමක් උපදින්න පටන් ගන්නවා.

එත් මෙහි අමුතුම දෙයක් තියෙනවා. මෙය එක්වරක් විතරක් නොවෙයි. ඒ ගැටුම අපි හොඳින් දන්නවා වුණත් එය, ඒ හැසිරීම නවත්වන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊළඟ trend එකක් හෝ offer එකක් දැක්කම, අපි ආයෙත් එම තීරණයම ගන්නවා. සෑම වතාවකම අලුත් හේතුවක් හොයාගෙන “මේ වතාවට වෙනස්”, “මේක වටිනවා” කියලා අපි අපිවම යළිත් විශ්වාස කරගන්නවා.
එවිට, එය තනි සිද්ධියක් නොවෙයි,
හේතු හදාගනිමින්, නැවත නැවත සිදුවෙන නිහඬ චක්‍රයක් වෙලා,
අපේ හැසිරීම තුළ නොදැනුවත්වම එය පුරුද්දක් බවට පත් වෙලා.

මනෝවිද්‍යාවේදී මේ වගේ අභ්‍යන්තර විරුද්ධතාවයක් සංජානන විරෝධාභාසය (Cognitive Dissonance) ලෙස හඳුන්වනවා.
ඉතින්, මේ Cognitive Dissonance කියන්නේ මොකද්ද?

මෙය Leon Festinger විසින් හඳුන්වාදුන් සංකල්පයක් වන අතර, පුද්ගලයෙකුගේ ආකල්ප සහ හැසිරීම් එකිනෙකට විරුද්ධ වූ විට ඇතිවන මානසික ආතතිය ලෙස පැහැදිලි කරනවා. මේ ආතතිය දිගටම තබාගන්න අපහසුයි. ඒ නිසා පුද්ගලයා එය අඩු කරගැනීමට විවිධ ක්‍රම භාවිතා කරනවා. නමුත් බොහෝවිට අපේ හැසිරීම වෙනස් නොකර, තමාගෙ සිතුවිලි තමයි වෙනස් කරන්න උත්සහ ගන්නේ. ඒ විදිහට, අපේ පුරුද්ද වෙනස් නොකර, ඒක විවිධාකාරයෙන් අර්ථකථනය කරමින් අපිවම සන්සුන් කරගන්නවා. “discount එකක් තිබුණා”, “quality එක හොඳයි”, "ගොඩාක් අය ගන්නවානේ" යැයි සිතමින් තීරණය rationalize කිරීම, අනෙක් විකල්පයන් අඩු වටිනාකමක් ලෙස දකිමින් (spreading of alternatives) , සහ තෝරාගත් දේ අධික වටිනාකමක් ලෙස දැකීම වගේ ක්‍රියාදාම ඇතුළත් වෙනවා.

Leon Festinger පෙන්වාදෙන පරිදි, මනුෂ්‍යයාට බොහෝවිට තම හැසිරීම සෘජුවම වෙනස් කරනවාට වඩා, ඒ හැසිරීමට ගැළපෙන විදිහට තම සිතුවිලි නැවත හැඩගස්වා ගැනීම පහසුයි. එමගින් ආතතිය කුඩා කාලයකට අඩු වුණත්, මුලික ගැටුම වූ අපේ විශ්වාස සහ ක්‍රියාව අතර තියෙන වෙනස, අපට නොදැනෙන ලෙස දිගටම ජීවත් වෙනවා.

අවසානයේ, මේ දෙක අතර ගැටුම සරල ආර්ථික ප්‍රශ්නයක් පමණක් නොවේ. එය, අප කවුද කියන හැඟීම සහ අපි ක්‍රියා කරන විදිහ අතර ඇති වෙනසක්. අපි මුදල් වැය කරන්නේ සරලව දේවල් මිලදී ගැනීමට නොව, අපි කවුරු වෙන්නද කැමති කියන එකත් සමඟ.
ඒ අතර, මතක තබාගන්න වැදගත් දෙයක් තියෙනවා:
කෙනෙකුට අවශ්‍ය දේ, ඔබට අවශ්‍ය දේ නොවෙන්න පුළුවන්, ඔබට වැදගත් දේ අනිත් කෙනෙකුට අර්ථවත් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා, trend එකක් හෝ වෙන කෙනෙකුගේ තේරීමක් අනුගමනය කරන වෙලාවේ, මොහොතකට නැවතිලා ඔබ ඔබගෙන්ම අහන්න “මේක ඇත්තටම මගේ අවශ්‍යතාවක්ද? මේක මගේ රුචිය, මගේ ජීවන රටාව, මගේ අනන්‍යතාවයට ගැළපෙනවද?” කියලා.

සමහරවිට, අපි සොයන්නේ දේවල් නොවෙයි.
අපි සොයන්නේ අපි කවුද කියන එකට පිළිතුරක් වෙන්නත් පුළුවන්.

T. H. M. Hasinee Senarathna
Batch - DPC 92

30/05/2026

ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා!
-----------------
අඳුර දුරලා ආලෝකය පැතිරෙන වෙසක් පහන් එළිය සේම, බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය අපගේ ජීවිත ද ආලෝකමත් කරයි.
-----------------
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ජන්මය, සම්බෝධිය සහ පරිනිර්වාණය සිහිපත් කරන මෙම පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී, මෛත්‍රිය, කරුණාව, දානය සහ සමාදානය අපගේ ජීවිතවලට එක් කර ගනිමු.
-----------------
අභියෝග රැසක් මැද දිවෙන ලෝකයට, වෛරය වෙනුවට මෛත්‍රියත්, තරඟය වෙනුවට සහයෝගයත්, අවිශ්වාසය වෙනුවට මානුෂීය බැඳීම්ත් ගොඩනැගීම සඳහා මෙම වෙසක් මංගල්‍යය අප සැමට ආධ්‍යාත්මික ආලෝකයක් වේවා.
-----------------
මෙම උතුම් වෙසක් දිනයේ උදාවන සියලු පුණ්‍ය බලයෙන් ඔබටත්, ඔබගේ ආදරණීයයන්ටත් නිරෝගී සුවය, සතුට, සැනසීම, යහපත් සිතුවිලි සහ සියලු කටයුතු සාර්ථකත්වය උදාවේවා!
-----------------
Just as the light of a Vesak lantern dispels darkness and illuminates its surroundings, may the noble teachings of the Lord Buddha enlighten our minds and guide our lives towards wisdom, compassion, and inner peace.
━━━━━━━━━━━━━━━━━━
On this sacred Vesak Full Moon Poya Day, as we commemorate the Birth, Enlightenment, and Parinirvana of the Lord Buddha, let us reflect upon His timeless teachings and embrace the values of loving-kindness, compassion, generosity, and harmony in our daily lives.
━━━━━━━━━━━━━━━━━━
In a world faced with many challenges and uncertainties, may this blessed Vesak inspire us to replace hatred with compassion, competition with cooperation, and mistrust with meaningful human connections. Let us work together to build a more peaceful, understanding, and sustainable society for future generations.
━━━━━━━━━━━━━━━━━━
May the blessings and merits of this sacred Vesak Day bring you and your loved ones good health, happiness, peace of mind, prosperity, and success in all your endeavors.

#සුබවෙසක්මංගල්‍යයක්වේවා #වෙසක්2026


#බුදුසරණයි #සියලුසත්වයෝසුවපත්වෙත්වා

බිඳුණු කැඩපතකින් පවා ආලෝකය විහිදෙයි 🪞✨මිනිස් ජීවිත අතර සමහර කතා අසන්නට නොව, හදවතෙන් දරාගන්නට උපන් ඒවාය. ඒවා කියවිය හැක්ක...
20/05/2026

බිඳුණු කැඩපතකින් පවා ආලෝකය විහිදෙයි 🪞✨

මිනිස් ජීවිත අතර සමහර කතා අසන්නට නොව, හදවතෙන් දරාගන්නට උපන් ඒවාය. ඒවා කියවිය හැක්කේ වචනවලින් වුවත්, තේරුම් ගත හැක්කේ වේදනාව දැනෙන හදවතකට පමණි. මාගේ ජීවිතයේ අසන්නට ලැබුණු බොහෝ ජීවිත කතා අතර, මගේ අස්ථි දක්වා ශීතල කළ සත්‍ය කතාව ඇයගේය.

සමහර මිනිසුන් අපට හමුවෙන්නේ කතා කිරීමට නොව, ජීවිතය පිළිබඳ අලුත් අර්ථයක් ඉගැන්වීමටය. ඇය එවැනි ආත්මයකි.

ඇය මා ඉදිරියට පැමිණියේ සරත් සන්ධ්‍යාවේ මඳ සුළඟක් මෙන් නිහඬවය. ඇය සත්‍ය ලෙසින්ම කියනවා නම් ජපන් බෝනික්කියක් වැනි රූ සපුවකින් හෙබි මා දුටු අහිංසකම දැරියකි. ඇය සෙමින් හිඳගත්තාය. මෘදු හඬින් කතා කළාය. නමුත් ඇගේ නිහඬතාවය තුළ වසර ගණනාවක් හඬා වෙහෙසුණු කඳුළු ගඟක් නිදා සිටින බව මට පෙනුණි. ඇගේ මුහුණෙහි තිබුණේ තරුණියකගේ සුන්දරත්වය නොව, යුද්ධ ගණනාවක් ජයගෙනත් පරාජිත හැඟීමක් සඟවාගත් සොල්දාදුවෙකුගේ නිහඬ ශක්තියකි.

මා ඇය හා මිතුරුව කතාබස් කර මදකින්
“ඔයාගේ කතාව මට කියන්න කැමතිද?” යැයි මම ඇසුවෙමි.

ඇය මොහොතක් ළමා නිවාසයේ ජනෙල් කවුළුවෙන් පිටත අහස දෙස බලා සිටියාය. ඉන්පසු මඳ සිනහවක් සිනාසී මෙසේ කීවාය.
“ මගේ කතාව අහන්න අවසර ඉල්ලපු එකම කෙනා ඔයා මිස් ”

අහිංසාගේ ළමා කාලය මල් වත්තක දුවමින් ගිය ළමා කාලයක් නොවීය. ඇයගේ කුඩා අත් දෙක බෝනික්කන් තුරුලු කළ යුතු වයසේදීම, ජීවිතය ඇයට මනුෂ්‍යත්වයේ අශුභතම මුහුණ පෙන්වා දුන්නේය.

තම පියා යැයි සමාජය හඳුන්වා දුන් මිනිසා, ඇයට ආරක්ෂාව විය යුතු තැන, ඇයගේ පළමු භීතිය විය. දරුවෙකුට තාත්තා යනු උරහිසක් විය යුතුය. අහිංසාට තාත්තා යනු දොර ඇරෙන සද්දයක් ඇසෙන විටත් හදවත ගැස්සෙන බියකි. රෑ යාමයට දොර අරිනා හඬ ඇසෙන විට ඇය ඇඳ අස්සේ ගල්වී යන්නාය. කුඩා අත් දෙකෙන් කන් වසාගෙන, “අද නං එන්න එපා...” යැයි නොපෙනෙන දෙවියන්ට යදින්නාය.
එහෙත් දෙවියන් පවා බොහෝ තැන් වල නිහඬ වන බව ඇයට එදා තේරුණි.
සමහර රාත්‍රීන්හිදී ඔහු ඇය නිවසින් පිටතට ඇදගෙන ගියේය.

අඳුරු පාරවල්. ආලෝකය නැති අහසක්. දුරින් බල්ලෙකුගේ කෑගැසීමක්. තනිව කඳුළු හඬන කුඩා දැරියක්. ඇගේ පාද ගල් කැට වලට කැපුණි. කටු ඇනුණි. නමුත් ඒ කිසිවක් ඇගේ ආත්මයට වැදුණු තුවාල තරම් ගැඹුරු නොවීය. ලෝකය නිදා සිටි ඒ වෙලාවේ, එක් දරුවෙක්ට තම ළමා කාලය සදාකාලයටම අහිමි කරවාලීය.

දිනක් ඇය තම මව වෙත දිව ගොස්, වෙව්ලන හඬින් මෙසේ කීවාය.
“අම්මේ... මාව බේරගන්න... මට බයයි...”
මවගේ දෑස් තුළ කඳුළු තිබුණි. එහෙත් ඒ කඳුළු දියණිය වෙනුවෙන් ගිනිවීමට තරම් ශක්තිමත් නොවීය.
“කට වහගෙන ඉන්න... ගෙදර නම කැත කරන්න එපා...” එදා අහිංසා තේරුම් ගත්තේ, සමහර අම්මලා දරුවා බිහිකළත්, දරුවා වෙනුවෙන් නැගී සිටීමට උපත නොලබන බවයි.
ඇය නෑදෑයන්ට පැවසුවාය. ඔවුන් සුසුම් හෙලූහ. කිසිවෙකු අත දිගු කළේ නැත.

ඇය පාසලේ ගුරුතුමිය ළඟට ගොස් කඳුළු අතරින් මෙසේ කීවාය.
“ටීචර්... මට ගෙදර යන්න බයයි...” ගුරුතුමියගේ මුහුණේ දයාවක් මොහොතකට දිලිසුණි. එහෙත් වහාම එය බියෙන් නිවී ගියේය.
“මේවාට මට සම්බන්ධ වෙන්න බෑ දුවේ...”
එදා අහිංසා දැනගත්තේ, ලෝකයේ දරුණුම කුරිරුකම නපුරු මිනිසුන්ගෙන් නොව, හොඳ මිනිසුන්ගේ නිහඬතාවයෙන් උපදින බවයි.

කාලය ගෙවී ගියේය. තරුණියක් වූ ඇය, තම හදවතේ ලේ වැගිරුණු පිටු එක මිනිසෙකුට විවෘත කළාය. ඔහු ඇගේ පෙම්වතා විය. හමුදා නිල ඇඳුම ඇඳ සිටි ඔහු, ඇයට පෙනුණේ යුද්ධයක් ජයගත් වීරයෙකු ලෙසය.
“මං ඉන්නවා...” යැයි ඔහු පැවසූ විට, ඇයට පළමු වරට ආරක්ෂාව යන වචනයේ රස දැනුණාය.

ඔහු සමඟ ඇය පොලිසියට ගියාය. අවුරුදු ගණනාවක් හඬක් නැතිව සිටි වේදනාව, එදා පළමු වරට කටහඬක් ලැබීය. ඇය සිතුවේ දැන්වත් සත්‍යයට හඬක් ලැබේවි කියාය.
එහෙත්, ලෝකය කවදාත් සත්‍යයට මල් මාලා නොපළඳවයි. නැවතත් ඇයව පාවා දුන්නේ ඇගේම ලේය. මව හා පියාම ඇයට විරුද්ධව නැගී සිටියහ. පෙම්වතා විසින් ඇයට කරදර කළ බවට බොරු චෝදනා කළහ.
ඇය නැවතත් විනිශ්චය කෙරුණේ වරද කළ අය ලෙස නොව, වරද හෙළි කළ අය ලෙසය.

උසාවි බිත්ති අතර ඇය හිඳ සිටියේ, සත්‍යය කී අයෙකු ලෙස නොව වැරදිකාරියක් ලෙසය . පසුව ඇයගේ පෙම්වතාද එම බොරු චෝදනාව පසු කලෙක සත්‍ය කර යන්නට ගියේය.
“මං ඉන්නවා” කියූ අත, ඇය වැටුණු විට හිස් අහසක් විය.
ආදරය ලෙස පැමිණි ඔහුද, ඇගේ කැඩුණු හදවතේ තවත් කැබැල්ලක් සූරා නික්ම ගියේය.

ඉතිරි වූයේ තනිකම පමණි.
ළමා නිවාසයක සීතල බිත්ති අතර ඇය ජීවත් වූවාය. රාත්‍රීවලට ඇය නිදාගත්තේ ඇඳක් මත නොව, මතක මතය. නින්ද පැමිණි විට බියෙන් අවදි වූවාය. සිනහව පැමිණි විටත් කඳුළු පසුව ආවාය.

එහෙත් දිනක්, ඇය කැඩී ගිය හදවත අතට ගෙන පෑනක් අල්ලා ගත්තාය.
එදා සිට ඇගේ,
කඳුළු අකුරු විය.
සුසුම් පද විය.
වේදනාව කවියක් විය.
ඇය ලියූ වචනවලට ගිනිගෙන ඉතිරිවූ අළු ගඳ තිබුණි. ඇය ලියූ පදවලට උණු ලේවල උෂ්ණය තිබුණි. ඇය ලියූ කවි කියවූ මිනිසුන්, තමන්ගේම සඟවාගත් තුවාල ඒ තුළ දැක අඬන්නට පටන් ගත්හ.

අද අහිංසා ප්‍රකට කිවිඳියකි. බිඳුණු මිනිසුන් ඇගේ වචන අතර සැනසීම සොයති. තනිව වැටුණු අය ඇගේ පද අතර අතක් සොයති. අඳුරෙහි වැටුණු අය ඇගේ අකුරු අතර ආලෝකය සොයා ගනිති.

දිනක් මා නැවත ඇයගෙන් මෙසේ ඇසුවෙමි.
“ඔයා මේ තරම් ශක්තිමත් වුණේ කොහොමද?”
ඇය දිගු නිහඬතාවයකින් පසු සිනාසුණාය. ඒ සිනහව තුළ අවුරුදු ගණනාවක කඳුළු දිලිසුණි.

“මාව ගොඩක් අය බිඳලා දැම්මා මිස්...
ඒත් ඔවුන් දැනගෙන හිටියේ නෑ...
කැඩුණු වීදුරුවලින් පවා
ආලෝකය ලස්සනට බැබළෙන බව.”

එදා මහ රෑ පාරක තනිව අඬපු කුඩා දැරිය, අද ලෝකයේ තනිව අඬන අයට වචනවලින් සවියක් සාදා දෙන ගැහැණියක් වී ඇත.

ඇයට මා තැබූ නම අහිංසාය.

ජීවිතය ඇයට කුමන හිංසාවක් අත්කර දුන්නත්,
ඇය ලෝකයාට තවමත් අවිහිංසාව පතනා සුන්දර තරුණියකි.

✍🏻K.D. Kaveesha Jayarathna
Batch - DPC 85

“කණ්නාඩියෙන් එහා”“මට  හුඟාක් වෙලාවට මට මාවම හඳුනාගන්න බැරි වෙලා යනවා………”නදීෂා ඒ වචන ටික මෘදු හඬින් කියද්දි, මනෝවෛද්‍යවරය...
08/05/2026

“කණ්නාඩියෙන් එහා”

“මට හුඟාක් වෙලාවට මට මාවම හඳුනාගන්න බැරි වෙලා යනවා………”

නදීෂා ඒ වචන ටික මෘදු හඬින් කියද්දි, මනෝවෛද්‍යවරයා ඇගේ ඉස්සරහා වාඩිවෙලා ඉඳගෙන නිහඬව සටහන් කිරීම ආරම්භ කළේය.

“ඒක හොඳින් පැහැදිලි කරන්න පුළුවන්ද?” මනෝවෛද්‍යවරයා සැනසිල්ලෙන් ඇසුවේය.

“මම කණ්නාඩිය ඉස්සරහට යනවා….. ඒත් එතන ඉන්නේ මම නෙවෙයි වගේ… වෙන කෙනෙක් වගේ. ඒ ඇස්…. ඒ හිනාව….. මට අයිති නැති එකක් වගේ දැනෙනවා.” ඇය කිව්වාය.

ඇයගේ ඇස්වල බියක්, වියළුණු දුකක්, සහ හොඳටම සැඟවුණු රහසක් දිස්වුණා.

“ඔයාට කවදාවත් අහසක් වගේ හිස් බවක් දැනුනද?” වෛද්‍යවරයා ඇසුවේය.

“හැම වෙලාවෙම…” ඇය හිනාවක් වගේ දෙයක් මූනෙන් පෙන්නන්න උත්සාහ කළා.
“මට මගේ ජීවිතේ නාට්‍යයක් වගේ. මම ඒ නාට්‍යයේ එක චරිතයක් … නමුත් script එක මට නෙවෙයි ලියලා තියෙන්නේ.” ඇය කිව්වාය.

වෛද්‍යවරයා නිහඬව ඇයට සවන් දෙමින් කොලයක යමක් ලියමින් හිටියේ. Dissociation? Depersonalization?

“ඔයාගේ ළමා කාලය ගැන මට කියන්න.” මනෝවෛද්‍යවරයා ඇගෙන් ඇසුවා.

නදීෂා ටිකක් නිහඬව ඉඳලා, සෙමින් කියන්න පටන් ගත්තා ය.

“අම්මා තාත්තා හැම වෙලාවෙම රණ්ඩු… කෑගැසීම්….. තාත්තා නිතරම බීලා ඇවිත් අම්මාට ගහනවා. මම ඒ හැමවෙලේම ඒ දිහා බලාගෙන බයෙන් වෙව්ලමින් කාමරයේ කොණක ඉඳගෙන හිටියා. මට මගේ අම්මාව ආරක්ෂා කරන්න ශක්තියක් තිබුනේ නෑ. එදාට පස්සේ මම මගේම ලෝකයක් හිතින් හදාගෙන ඒකේ ජීවත්වෙන්න පටන් ගත්තා….” ඇය කිව්වා.

“ඒ ලෝකේ… ඔයා safe ද?” මනෝවෛද්‍යවරයා ඇහුවා.

ඇය හිස පහලට කර බිම බලාගෙන ලොකු හුස්මක් ගත්තා.

“ඔව්…… එතන මට බය නෑ. එතන මට දුකක් නෑ. ඒත්…..”

“ඒත්?” මනෝවෛද්‍යවරයා ඇහුවා.

“එතනින් එළියට එනකොට…… මම කවුද කියලා මටම අමතක වෙනවා….” ඇය කිව්වා.

කාමරය තුළ නිහඬතාවයක් ඇතිවුණා.

වෛද්‍යවරයා කණ්නාඩියක් ඇගේ අතට දුන්නා.

“දැන් බලන්න…. මේ කවුද?”

නදීෂා මඳක් බියෙන් එය බැලුවා.

ඇය ඇගේ මුහුණ කන්නාඩියෙන් දැක්කා….

ඇයගේ ඇස් දිගටම එය දෙස බලා සිටියා.

එක පාරට ඇයගේ ඇස් ලොකු වුණා.

“ඩොක්ටර්…. ඒ මම නෙවෙයි…..”

වෛද්‍යවරයා ටිකක් ඉදිරියට පැමිණියා.

“ඔයාට විස්වාසයි ද?” මනෝවෛද්‍යවරයා ඇහුවා.

“ඔව්…. ඒ….. ඒ මම නෙවෙයි….” ඇය කම්පිත හඬින් බියෙන් කිව්වා.

වෛද්‍යවරයා මඳක් ඉදිරියට පැමිණියා.
“එහෙනම්…. කවුද ඒ?”

නදීෂා කණ්නාඩිය අල්ලාගෙන හිටියේ කම්පනයෙන්. ඇගේ ඇස්වල කඳුළු පිරිලා තිබුණා.

“ඒ…. මට වෙන්න ඕන වුන කෙනා….” ඇය සෙමින් කියන්න පටන් ගත්තේය.

“ බය නැති….
කවුරුත් කෑගහන්නේ නැති….
මට ආදරේ කරන ලෝකයක ජීවත් වෙන කෙනෙක්….. මගේ අම්මාව ශක්තිමත්ව ආරක්ශා කරන්න පුලුවන් එඩිතර කෙනෙක්” ඇය හඩමින් කිව්වා.

කාමරය තුළ තවත් මොහොතක් නිහඬතාවයක් ඇතිවුණා.

වෛද්‍යවරයාගේ හඬ මේවර ටිකක් මෘදු වුණා.
“නදීෂා…. ඒක ඔයාගේ හිතේ හදපු ‘safe self’ එකක් වෙන්න පුළුවන්….” ඔහු කිව්වා.

ඇය සෙමින් හිස උස්සා බැලුවා.

“එහෙනම්…. ඇත්තටම මම කවුද, ඩොක්ටර්?” ඇය ඇසුවා.

වෛද්‍යවරයා ටිකක් නිහඬව ඉඳලා උත්තර දුන්නා.

“ඔයා… ඒ දෙකම.
බිඳුණු ඔයාවත්…..
හිත හදපු ශක්තිමත් ඔයාවත්….”

නදීෂා කණ්නාඩියට ආයෙත් බැලුවා.

මේවර ඇයට තමන්වම කණ්නාඩියෙන් පේන්න පටන් ගත්තා.
කඳුළුත් එක්ක….
දුකත් එක්ක….
ඒත්…. ටිකක් ශක්තියත් එක්ක.

ඇය සෙමින් හිනාවුණා.

“එහෙනම්…. මට ආයෙත් මාවම හදන්න පුලුවන් වේවි නේද. මට මම වෙන්න පුළුවන් නේද?” ඇය ඇසුවා.

වෛද්‍යවරයා මඳක් හිනා වුණා.

“ඔව්…. මේවර, ඔයාගේ ජීවිතේ script එක ලියන්නේ ඔයා.” වෛද්‍යවරයා
කරුණාවන්ත විදිහට මද සිනහවක් සමග කිව්වා.

කණ්නාඩිය ඉස්සරහ දැන් දෙන්නෙක් නැහැ.

දැන් කණ්නාඩිය ඉස්සරහා ඉන්න එකම කෙනා හුරුබුහුටි සිනාවක් තියෙන සතුටින් ඉන්න නදීෂා පමනි.…💝

අතීතයේ කොච්චර දුක්බර අත්දැකීම්වලට මුහුණ දුන්නත්, ඒ සියල්ල අතීතයට අයිති දේවල් පමණි.
අපි කැමති නම්…. උත්සාහ කළොත්….
අපට නැවත සතුට සොයාගන්නත්,
අනාගතය අර්ථවත් ලෙස සතුටින් ගොඩනගාගන්නත් හැකියාව ඇත.
අඳුරු ගිගුරුම් සහිත කළු වලාකුළු වැසිවලින් පසුව,
නැවතත් හිරු එළිය දිලී,
වර්ණවත් දේදුන්නක් අහසේ ඇඳෙයි,🌈
සමනලුන් නිදහසේ පියාඹයි.🦋
ඒ වගේමයි ජීවිතයත්….
අඳුරු වෙලාවන් පසුකරලා,
නැවතත් ආලෝකයට එන්න පුළුවන්.🌄💝


🧠 මනෝවිද්‍යා සංකල්ප (hidden themes):

🌻Dissociation (වෙන්වීමේ අත්දැකීම)
🌻Depersonalization (තමන් තමන් වගේ නොහැඟීම)
🌻Childhood trauma
🌻Reality vs perception
🌻Dissociation → self protection mechanism එකක් ලෙස
🌻Depersonalization → trauma වලින් පැන යාම
🌻Inner self vs ideal self
🌻Healing & self-reconstruction

ආදී තේමා යටතේ මෙම කෙටි කතාව නිර්මාණය කරලා තිබෙනවා.


✍🏻A. G. SHEHANI AHINSA ERNST
Batch - HDPC 102

𝗖𝗲𝗹𝗲𝗯𝗿𝗮𝘁𝗶𝗻𝗴 𝗮 𝗗𝗶𝘀𝘁𝗶𝗻𝗴𝘂𝗶𝘀𝗵𝗲𝗱 𝗦𝗰𝗵𝗼𝗹𝗮𝗿 𝗮𝗻𝗱 𝗣𝗿𝗼𝗹𝗶𝗳𝗶𝗰 𝗔𝘂𝘁𝗵𝗼𝗿𝗛𝗮𝗽𝗽𝘆 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆, 𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗼𝗿 𝗗𝗮𝘆𝗮 𝗥𝗼𝗵𝗮𝗻𝗮 𝗔𝘁𝗵𝘂𝗸𝗼𝗿𝗮𝗹𝗮! ---------------...
03/05/2026

𝗖𝗲𝗹𝗲𝗯𝗿𝗮𝘁𝗶𝗻𝗴 𝗮 𝗗𝗶𝘀𝘁𝗶𝗻𝗴𝘂𝗶𝘀𝗵𝗲𝗱 𝗦𝗰𝗵𝗼𝗹𝗮𝗿 𝗮𝗻𝗱 𝗣𝗿𝗼𝗹𝗶𝗳𝗶𝗰 𝗔𝘂𝘁𝗵𝗼𝗿
𝗛𝗮𝗽𝗽𝘆 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆, 𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗼𝗿 𝗗𝗮𝘆𝗮 𝗥𝗼𝗵𝗮𝗻𝗮 𝗔𝘁𝗵𝘂𝗸𝗼𝗿𝗮𝗹𝗮!
----------------------------
We extend our sincere greetings to 𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗼𝗿 𝗗𝗮𝘆𝗮 𝗥𝗼𝗵𝗮𝗻𝗮 𝗔𝘁𝗵𝘂𝗸𝗼𝗿𝗮𝗹𝗮 Head of the Department of Psychology at IMBS Green Campus, a distinguished scholar in the field of Psychology and a highly respected writer and author of numerous academic and literary works.
----------------------------
His significant contribution to knowledge through book writing and intellectual discourse has played an important role in shaping understanding within the discipline and beyond.
----------------------------
𝗪𝗲 𝘄𝗶𝘀𝗵 𝗵𝗶𝗺 𝗴𝗼𝗼𝗱 𝗵𝗲𝗮𝗹𝘁𝗵, 𝗰𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲𝗱 𝘀𝘂𝗰𝗰𝗲𝘀𝘀, 𝗮𝗻𝗱 𝗺𝗮𝗻𝘆 𝗺𝗼𝗿𝗲 𝘆𝗲𝗮𝗿𝘀 𝗼𝗳 𝗺𝗲𝗮𝗻𝗶𝗻𝗴𝗳𝘂𝗹 𝗰𝗼𝗻𝘁𝗿𝗶𝗯𝘂𝘁𝗶𝗼𝗻.

Address

20/4 Queen Marry Road
Gampaha
11000

Telephone

+94740607115

Alerts

Be the first to know and let us send you an email when IMBS Psychology Students Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to IMBS Psychology Students Association:

Shortcuts

Share