22/08/2026
හන්තාන අඩවියේ
මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස
මේ එන්නේ
ප්‍රේමයේ සුවඳ නොවේ...
හන්තාන අඩවියේ..
කුසුම වදුළු තුරු සිරස හමාගෙන
මේ එන්නේ
ප්‍රේමයේ සුවඳ නොවේ...
නන්දා මාලනිය ගැයුවාය. අද ඇගේ රන් ස්වරය නිහඬ වී ඇත. සිය දහස් ගණන් ඝාතනය කරමින්
ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට එරෙහිව ඇය එසවූ හඬ අවිය පිළිබඳ නොමැකෙන මතක සටහන් ඉතිහාසය තුළ අකුරු කර තැබීම අ.වි.ශි.බ.ම. අප සතු වගකීමකි.
සෑම වසරකම ජුනි 20 ශිෂ්‍ය වීර දිනය සමරන විට සෑම සරසවියකම ඇගේ හඬ රැව් පිළිරැව් නැගීම අනිවාර්යයකි. පොදු ජන අරගලය වෙනුවෙන්, ශිෂ්‍ය ව්‍යාපාරයේ නොනවතින අරගලය වෙනුවෙන්, අදීනව දිවි පිදූ සිසු විරුවන් වෙනුවෙන් ඇගේ සටන්කාමී, අනුවේදනීය හඬ නොබියව, නොපැකිලව අවදි විය.
"පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේවී..."
අද අප අත්විඳින නිදහස් අධ්‍යාපනය ඇතුළු පොදුජන අයිතිවාසිකම් ජයග්‍රහණය කළේ කෙසේදැයි ඇය සමාජය ඉදිරියේ සිහි කැඳවන්නී එසේය. එම ජයග්‍රහණයන්ගේ හිමිකරුවන් කිසිවෙකුත් නොදන්නා ලෙස නිහඬව මහ පොළොවේ සැඟවී සිටී. 88/89 භීෂණ සමයේ සැට දහසකට අධික තරුණ ජීවිත බිලිගත් පාලකයා ගුණදාස කපුගේ හා එක්ව ඇය නොබියව ප්‍රශ්න කළේ මෙලෙසිනි.
ඝාතකයා ...
සූසැට දහසක් ජීවිත බිලිගත් ඝාතකයා
ලෝහිත ගඟුලේ පිහිනා සැනහුනු පාලකයා
කවුරුද කියාදියන් ලංකා ඉතිහාසේ
සඟ වෙද ගුරු ගොවි කම්කරුවන්
නීතිවේදියන් ලේඛකයන්
එඩිතර අංකුර නායකයන්
දරු දැරියන් නව යෞවනයන්
බිලිගත් ඝාතකයා
කවුරුද කියාදියන් ලංකා ඉතිහාසේ
විරුද්ධ අදහස් දැරීම ත්‍රස්තවාදයක් සේ සැලකූ යුගයක මෙවැනි පද පෙළක් ගායනා කළ හැකි ගායිකාවක් වී නම් ඒ නන්දා මාලනියම පමණකි. අසාධාරණයට අයුක්තියට එරෙහිව නැගී සිටින තරුණ තරුණියන් වීරයින් බව ඇය දෙමාපියන් ඉදිරියේ ගායනා කළාය. වැරදිකරුවන් වන්නේ යුක්තිය, සාධාරණය පිරි ලොවක් පතා අරගල කරන සිසුන් නොව ඔවුන් මර්දනය කරන පාලකයන් බව ඇය ඍජුව ප්‍රකාශ කළාය.
යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්
අයුක්තියේ රාජ්‍ය දිවි පුදා හෝ ආරක්ෂා කරගැනීමට ඉදිරිපත්වන සෙබළුන් ඇමතූ ඇය මෙසේ ගැයුවාය.
"රණ දෙරණේ ගිණි අවි ගත් යුධ සෙබලුනි අසනු මැනව..
වෙඩි උණ්ඩය වැය කොට නුඹ සුරැකිය යුතු ජන පිරිසය..
යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව..
වැනසෙන්නේ නුඹ ද අයත් පංතිය බව සිතට ගනුව..."
ශිෂ්‍ය ව්‍යාපාරය, කම්කරු ව්‍යාපාරය ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වූ රාජ්‍ය මර්දනයේ උච්ඡතම වකවානුව වූ 1987 - 88 වසරවල නන්දා මාලනිය "පවන" ප්‍රසංගය රැගෙන රට පුරා ගියාය. එහි සෑම ගීතයකින්ම පවතින මර්දනකාරී රාජ්‍ය පාලනය ප්‍රශ්න කළාය. අරගලය උත්කර්ෂයට නැංවූවාය. විශ්වවිද්‍යාල සිරකඳවුරු කරමින් සිසු නායකයින්, ක්‍රියාකාරීන් දඩයම් කරමින් සිටි යුගයක අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සමඟ සමීපව කටයුතු කළ ඇය සටන්කාමී ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රසිද්ධියේ ගී ගැයුවාය. එමෙන්ම "පවන" සංගීත ප්‍රසංගය රට පුරා විශ්වවිද්‍යාලයන්හි සංවිධානය කිරීමද සිදු විය. අවසන රාජ්‍ය මර්දනය ඇය සොයා පැමිණි විට රටින් පලා යාමට පවා ඇයට සිදුවිය. නන්දා මාලනිය විමුක්ති අරගලයේ ලාංකීය හඬ පෞරුෂයයි. අද ඇය සිය දිවි ගමන නිමා කළ ද ඇයගේ මහා හඬ පෞරුෂය යුගයෙන් යුගයට අනාගතයේදීත් රැව් නගනු ඇත. අරගල බිමට ධෛර්ය සපයනු ඇත.
2022 ගෝඨාභය රාජපක්ෂ පලවා හැරි මෙරට ඉතිහාසයේ තීරණාත්මක අරගල භූමියට නන්දා මාලනිය පැමිණියාය. අරගලකරුවන්ට ධෛර්ය සපයනු වස් ඇය එහිදී මෙගා ෆෝනයක් ගෙන ගී ගැයුවාය. නන්දා මාලනිය යනු ඇයයි.
"අප මැරුණු කල අපේ දරුවනේ
ගයවු තෙපි වැස භද්‍ර දේශයක, රාජ්‍යයක
අප වෙතින් පලා ගිය මධුර ගී..."
අරගලයේ කාහල නාදය ගීතයට නැගූ අමරණීය හඬ පෞරුෂය නන්දා මාලනියනි, ඔබට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ආචාරය වේවා! ඔබ පැතූ ලොව ගොඩ නගන්නට ඔබේ රන් ස්වරය හෙටත් අරගල භූමියේ රාව ප්‍රතිරාව නැගේවා!
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය