19/06/2026
විභාග සඳහා Center change කිරීමේ අවස්ථාව අහෝසි කිරීම සම්බන්ධවයි..
වෘතිකයන් වෙනුවෙන් තැනුණු විවෘතය රට පුරා ප්‍රාදේශීය මධ්‍යස්ථාන 9කින් සමන්විත වන්නේ රටෙහි ඕනෑම තැනක සිට උසස් අධ්‍යාපනය උදෙසා විවෘතය තෝරාගැනීමට පහසු වෙන පරිදි ය. මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ අප ලියාපදිංචි වන මධ්‍යස්ථානයෙන් මෙන්ම් අවශ්‍යතාවය පරිදි වෙනත් මධ්‍යස්ථානයකින් වුවද විභාගයන් සඳහා මුහුණදීමට හැකිවීමයි. ඒ සඳහා නියම වූ ක්‍රමවේදයක් පසුගිය කාලයේ තිබුණද ආසන්න වසර කිහිපයක සිට එම ක්‍රමවේදයද අඩාල වී තිබුණි. එනම් විභාග කාලසටහන් ශිෂ්‍යයන් වෙත ලැබෙන කාල සීමාව අතර Google form link එකක් හරහා විභාග මධ්‍යස්ථානය මාරු කරගැනීමට අවස්ථාව හිමි වීමයි. ඒ හරහා කිසිඳු බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථානය මාරු කරගෙන විභාගයට මුහුණදීමට ශිෂ්‍යයන්ටත්, විභාග අංශයට විභාග පැවැත්වීමටත් හැකි විය.
එහෙත් මෙම ක්‍රියාවලිය නිසි අයුරින් සිදු නොවූ වසර කිහිපය තුල විභාග මධ්‍යස්ථාන මාරු කළ සිසුන් දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වුනි, ඒ එහි උපරිමය සනිටුහන් වන විභාග ප්‍රශ්න පත්‍රය අස්ථානගත වීම දක්වාම එය පීඩාකාරී වීමය. එමෙන්ම විභාගයට මුහුණ දෙන අවස්ථා වලදී පවා ශිෂ්‍යයන් දැඩි ලෙස පීඩාවට ලක්වී ඇතැයි අපට වාර්තා වුනි.
මෙවන් තත්වයන් මතුව තිබියදී විවෘතයේ විභාග අංශය ප්‍රමුඛ පරිපාලනය ගත යුතුව තිබෙන්නේ විවෘතයේ ශිෂ්‍යයන් තවත් පීඩාවට ලක් නොකර මෙම ක්‍රියාවලිය සඳහා නිසි ක්‍රියා පටිපාටියක් සැකසීම යන කරුණ කිසි ලෙසකින් නොසිතා සිසුන් කබලෙන් ලිපට වැටෙන ලෙස තීරණ ගැනීමට ඔවුන් දෙපාරක් නොසිතා ඇත. ඒ කිසි ලෙසකින් විභාගයන් සඳහා center change කිරීමට තිබූ අවස්ථාව අහුරා දැමීමේ තීරණය හරහාය. මෙම තීරණය හරහා මහත් ලෙස පීඩාවට පත් වන්නේ තමා ලියාපදිංචි වූ ප්‍රාදේශීය මධ්‍යස්ථානයට පිට ප්‍රදේශයක රැකියාවක නිරත වන සහෝදර ශිෂ්‍යයන් ය.
මෙම තිර්‍රණය හරහා මේ මොහොතේ පීඩාවට ලක්ව ඇත්තේ විවෘතයේ කළමනාකරණ පීඨයේ සිසුන් වන අතර ඔවුන් මේ මොහොත වනවිට Course material කප්පාදුවකටද මුහුණදෙමින් සිටී, එමෙන්ම කළමනාකරණ පීඨයට අදාල වූ ගොඩනැගිල්ලක්වත් නොමැති මොහොතක ඔවුන්ගේ අධ්‍යන කටයුතු අඩාලව සිසුන් අධ්‍යාපනයෙන් පිටමං වන ලෙස තීන්දු තීරණ ගැනීම දැඩි ලෙස හෙලා දකින බවත්, මේ මොහොතේ කළමනාකරණය සිසුන්ට මුහුණදීමට සිදුවූ මෙම ගැටලුව අනෙකුත් පීඨයන් වෙත නොපැමිණීමට කිසිඳු හැකියාවක් නොමැති බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.
එම නිසා මෙවැනි අසාධාරණයන් හමුවේ නොවැටී විවෘතය තුළ නිදහසේ අධ්‍යාපනය හැදෑරීමට හැකි වටපිටාවක් බිහිකරගැනීමට ඇති එකම විසඳුම වන විවෘතය තුල නිදහස් අධ්‍යාපනය තහවුරු කරගැනීම උදෙසා එක්වෙමු! සංවිධානය වෙමු! සටන් වදිමු!