Association of Pali & Buddhist Studies - University of Ruhuna

  • Home
  • Association of Pali & Buddhist Studies - University of Ruhuna

Association of Pali & Buddhist Studies - University of Ruhuna Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Association of Pali & Buddhist Studies - University of Ruhuna, College & University, .

ඔබ සැමට තුටු සිතින් ආරාධනා කරන්නෙමු.
03/12/2022

ඔබ සැමට තුටු සිතින් ආරාධනා කරන්නෙමු.

Ruhuna university arts career circle leadership chain හි  සම ලේකම් තනතුරින් පිදුම් ලැබූ රුහුණ විශ්වවිද්‍යාලයීය පාලි හා බ...
12/11/2022

Ruhuna university arts career circle leadership chain හි සම ලේකම් තනතුරින් පිදුම් ලැබූ රුහුණ විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ තෙවන වසරෙහි අධ්‍යාපනය ලබන රොටුඹ ධම්මසිරි හිමියන්ට සිව් වසරක සහෝදර සැම දේනාගෙන් උණුසුම් සුබ පැතුම්.

රුහුණ විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ පළමු වසරෙහි ඉගෙනුම ලබන      ලෝචන ධම්ම හිමියන්ගේ සිතුවිල්ලක් මත පසුගිය ද...
12/11/2022

රුහුණ විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ පළමු වසරෙහි ඉගෙනුම ලබන ලෝචන ධම්ම හිමියන්ගේ සිතුවිල්ලක් මත පසුගිය දිනක ජන්ම දිනය සමරන ලද පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කොග්ගල්ලේ විජිත හිමියන් හට තිළිණි සමරුවක් පිළිගැන්වූ අයුරු .

"ත්‍රිංශත් වර්ෂීය ශාස්ත්‍ර යාත්‍රා සමර්පණය"විශේෂ ධර්ම දේශනා වැඩ සටහන සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් ස්තුතිය පළකිරීම.2022 ...
27/10/2022

"ත්‍රිංශත් වර්ෂීය ශාස්ත්‍ර යාත්‍රා සමර්පණය"

විශේෂ ධර්ම දේශනා වැඩ සටහන සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් ස්තුතිය පළකිරීම.

2022 /10 /26 වන දින රුහුණ විශ්වවිද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයෙහි පාලි හා බෞද්ධ අධ්‍යනාංශයට වසර තිහක් සපිරීම නිමිත්තෙන් පාලි හා බෞද්ධ අධ්‍යනාංශය සහ පාලි හා බෞද්ධ අධ්‍යයන සංගමය විසින් සංවිධානය කරන ලද විශේෂ ධර්ම දේශනා වැඩ සටහන ඉතා සාර්ථකව සිදු කරන ලද බව තුටු සිතින් සිහිපත් කරන්නෙමු.

මෙම වැඩ සටහන සඳහා ප්‍රධාන සම්පත් දායකත්වය ලබා දුන් බෙලිහුල්ඔය සීලසමාහිත භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය : බළංගොඩ රාධ ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරන්නෙමු.

එසේම මෙම වැඩ සටහන රුහුණ විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය මාකොළ මංගල හිමියන්ගේ සහ සමස්ථ ආචාර්ය මණ්ඩලයේ නව සංකල්පයක් ඔස්සේ ඉදිරිපත් කරන ලද අතර මෙම වැඩ සටහන සංවිධානය කර ගැනීම සඳහා නිවැරදි මාර්ගෝපදේශකත්වයන් ලැබු දුන් අංශාධිපති හිමියන් ඇතුළු සමස්ථ ආචාර්ය මණ්ඩලයට අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරන්නට කරන්නෙමු.

එසේම මෙම වැඩසටහන සිදු කරගැනීම සඳහා විශේෂ ආශිර්වාදයන් එකතු කරන්නට යෙදුණ රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන්ට ද නියෝජ්‍ය උප කුලපති තුමාට ද, පීඨාධිපතිතුමන්ට ද බෙහෙවින්ම ස්තුතිය මෙහිදි පල කරන්නෙමු.

එසේම මෙම වැඩ සටහන සාර්ථක කර ගැනීම සඳහා නිදි වර්ජිතව, ඉතා කැපවීමෙන් නන් අයුරින් සහයෝගය දක්වන්නට යෙදුණ පළමු, දෙවන, තෙවන , සිව්වන සියලු වසරවල සහෝදර ඔබ සැම දෙනාටම බෙහෙවින්ම විශේෂ ස්තුතිය පුද කරන්නෙමු.

ඔබ වෙනුවෙන් ඉදිරියට ද අපට හැකි පමණින් විවිධ වැඩසටහන් සංවිධානය කිරීම අප සැමගේ අපේක්ෂාවයි. ඊට ඔබ සැමගේ සහාය අප අපේක්ෂා කරන්නෙමු..

සියළු දෙනාටම තෙරුවන් සරණයි....!!!

(පාලි හා බෞද්ධ අධ්‍යයන සංගමයේ සභාපති, ලේකම්.)

"කාලෙන ධම්ම සවණං එතං මංගල මුත්තමං" . ඔක්තෝබර් මස 26 වන බදාදා දින පස්වරු 04 ට  රුහුණ විශ්වවිද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා ස...
23/10/2022

"කාලෙන ධම්ම සවණං එතං මංගල මුත්තමං" .

ඔක්තෝබර් මස 26 වන බදාදා දින පස්වරු 04 ට රුහුණ විශ්වවිද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයට පැමිණෙන ලෙස ⁣සැමට මෙත් සිතින් ආරාධනා කරන්නෙමු.

"පොසොන් උදාවයි දහම් අමාවයි" 2022/06/15 වන දින රුහුණ විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයන සංගමය සහ පාලි හා බෞද්ධ අධ්‍යන...
18/06/2022

"පොසොන් උදාවයි දහම් අමාවයි" 2022/06/15 වන දින රුහුණ විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයන සංගමය සහ පාලි හා බෞද්ධ අධ්‍යනාංශය මගින් සංවිධානය කරන ලද බෞද්ධ ආර්ථික කළමණාකාරණය පිළිබඳ වූ දහම් කතිකාව ඉතා සාර්ථකව සිදු කරගැනීම සඳහා සහයෝගය දැක් වූ සියලු දෙනාට අධ්‍යයන සංගමය වෙනුවෙන් සැමගේ ගෞරවනීය ස්තුතිය පුද කරමු.

මේ සඳහා අනුමැතිය ලබාදුන් පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති තුමාට ද නිසි උපදෙස් ලබාදෙමින් මෙම වැඩසටහන මෙහෙය වූ අාචාර්ය පූජ්‍ය කොග්ගල්ලේ විජිත හිමිපාණන් ට ද අපගේ ගෞරවනීය ස්තුතිය පලකරමි.

එසේම මෙම වැඩසටහන සිදු කරගැනීම සඳහා විශේෂ ආශිර්වාදයන් එකතු කරන්නට යෙදුණ රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන්ට ද නියෝජ්‍ය උප කුලපති තුමාට ද, පීඨාධිපතිතුමන්ට ද බෙහෙවින්ම ස්තුතිය මෙහිදි පල කරන්නෙමු.

එසේම මෙම දහම් කතිකාවත සඳහා විශේෂ දේශනය පවත්වමින් සම්පත් දායකත්වය දැක් වූ පාලි හා බෞද්ධ අධ්‍යනංශයේ මහාචාර්ය පූජ්‍ය බෙලිගල්ලේ ධම්මජෝති හිමිපාණන් වහන්සේටත් සාකච්ඡාවට සම්බන්ධ වූ
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය තල්දෙන අරියවිමල හිමියන්ටත්
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය නාහල්ලේ වජිරඤාණ හිමියන්ටත් බෙහෙවින්ම ස්තුතිය පුද කරන්නෙමු.

එසේම මෙම වැඩ සටහන සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් සහයෝගය දක්වන්නට යෙදුණ පළමු, දෙවන, තෙවන , සිව්වන සියලු වසරවල සහෝදර ඔබ සැම දෙනාටමත් බෙහෙවින්ම ස්තුතිය පුද කරන්නෙමු.

විද්‍යුත්තාක්ෂණික සහයෝගය දක්වන්නට යෙදුන නිර්මිත සුබෝධ මහතාටත් බෙහෙවින්ම ස්තුතිය පුද කරන්නෙමු....

ඔබ වෙනුවෙන් ඉදිරියට ද අපට හැකි පමණින් විවිධ වැඩසටහන් සංවිධානය කිරීම අප සැමගේ අපේක්ෂාවයි. ඊට ඔබ සැමගේ සහාය අප අපේක්ෂා කරමු.
එන්න.... අපි එකාවන් ව අපේ ලෝකය නවමු ලෙසින් ගොඩනගමු.
සියළු දෙනාටම තෙරුවන් සරණයි .!!!!!!!

13/06/2022
*නවම් පොහොය වර්ණනාව*සම්බුද්ධ ශාසනයේත් සම්බුද්ධ චරිතාපදානයේත් උදාර සිද්ධීන් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් වශයෙන් ...
16/02/2022

*නවම් පොහොය වර්ණනාව*

සම්බුද්ධ ශාසනයේත් සම්බුද්ධ චරිතාපදානයේත් උදාර සිද්ධීන් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් වශයෙන් නවම් පුනු පොහෝ දිනය සැලකිය හැකි ය. සම්බුද්ධ ශාසන නැමැති රත්නාකරයෙහි පහළ වූ මහාර්ඝ රත්නයක් බඳු වූ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා සම්බුදු සසුන්හි අගසවු තනතුරු ලබන ලද්දේත් නවම් පුනු පොහෝ දිනයක ය. සම්බුද්ධ ශාසන වංශ කථාවෙහි සඳහන් වන ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පුනු පොහෝ දිනයක ය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට ප්‍රථමයෙන් ආයුසංස්කාරය හළේත් නවම් පුනු පොහෝ දිනයක ය. මෙසේ සලකා බලන කල්හි නවම් පුනු පොහෝ දිනය බොදු බැතිමතුන්ගේ සිත් සැදෑ බැතියෙන් කුළු ගන්වන වැදගත් ශාසනික දිනයෙකි.

ප්‍රථම මහා සංඝ සන්නිපාතය

සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීමත් බුද්ධ ශාසනයෙහි ප්‍රථම මහා සංඝ සන්නිපාතයත් රජගහ නුවර වේළුවනාරාමය කේන්ද්‍රස්ථානය කරගෙන නවම් මස මැදි පොහෝ දා සිදු විය. උරුවේල කාශ්‍යප - නදී කාශ්‍යප - ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්ෂූන් ප්‍රධාන දහසක් භික්ෂු පිරිස ද, සැරියුත් මුගලන් හිමිවරුන් දෙනම ප්‍රමුඛ දෙසිය පනසක් රහතන් වහන්සේ ද යන එක්දහස් දෙසිය පනසක් රහතන් වහන්සේලාගෙන් වේළුවනය බබළන්නට විය. තරු පිරිවරා ගත් පුන්සඳ මෙන් එක්දහස් දෙසිය පනසක් මහ රහතන් වහන්සේ මැද වැඩ හුන් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ධර්මසේනාධිපති සාරිපුත්ත හා මහාර්ධිලාභී මොග්ගල්ලාන යන මහා ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා දෙනම පිළිවෙළින් දකුණත් සවු, වමත් සවු වශයෙන් අග්‍ර ශ්‍රාවක තනතුරුවලට පත් කළ සේක.

අගසවු තනතුරු පිරිනැමුණු ආකාරය පිළිබඳ ව භික්ෂූන් අතර වැරදි හැඟීම් ඇති විය. මුලින් පැවිදි වූ භික්ෂූන් සිටිද්දී බුදු රජාණන් වහන්සේ ළඟ දී සසුනට ඇතළත් වූ සැරියුත් මුගලන් හිමිවරුන් අගසවු තනතුරුවලට පත්කළහ යි ඇතැම් භික්ෂූහු දොස් නැගූහ. මේ පිළිබඳ ව භික්ෂූන් වහන්සේලා අතර ඇති වූ කථා ඇසූ තථාගතයන් වහන්සේ සියලු භික්ෂූන් රැස් කරවා මෙසේ කරුණු පැහැදිලි කර දුන්හ. “මහණෙනි, පඤ්චවර්ගික භික්ෂූහු, යස භික්ෂුව, භද්‍රවර්ගික භික්ෂූහු, තුන් බෑ ජටිල භික්ෂූහු යන මේ හැම දෙනා වහන්සේ ම අනෙකක් පතා ම පින් කළහ. අගසවු තනතුර නො පැතූහ. සැරියුත් මුගලන් දෙනම අගසවු බව පතා පින් කළ බව වදාරා” ඒ දෙදෙනා වහන්සේ ගේ අතීත ප්‍රවෘත්ති ගෙන හැර දක්වා ඒ භික්ෂූන් තුළ පහළ වූ කුකුස් බිඳලූ හ.

සාරිපුත්ත හා මොග්ගල්ලාන චරිතාපදාන

මෙයින් එක් අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර සැරියුත් හිමියෝ බමුණු මහසල් කුලයෙහි උපන් හ. නමින් සරද මානවක නම් වූ හ. මුගලන් හිමියෝ ගැහැවි මහසල් කුලයෙහි උපන් ය. නමින් සිරිවඩ්ඪ කුටුම්බිය නම් වූ හ. ඔහු දෙදෙනා ම ඉතා ම දැඩි හිතවත් බවින් යුත් මිතුරෝ වූ හ. සරද මානවකයෝ පියාගේ ඇවෑමෙන් ‍කුලසතු මහා ධනයට හිමිකාරයා වූ හ. නුවණින් ලෝක තත්ත්වය විමසා බැලූ සරද මානවක තෙමේ වස්තුව දුගී මගී යාචකාදීන් හට මහ දන් දී මෝක්ෂ ධර්මය සොයනු පිණිස තවුස් පැවිද‍්දෙන් පැවිදි විය. ඔහු අනුව පැවිදි වූ තවුස් පිරිස සූ සැත්තෑ දහසක් පමණ වූහ. ප්‍රධාන තවුසාණෝ පඤ්චාභිඥා අෂ්ට සමාපත්තීන් උපදවා ගෙන සිය පිරිසට ද එය ලබන පිළිවෙත් මඟ කී හ. ඒ අනුව කිසිණු පිරියම් බවුන්හි යෙදීමෙන් ඔවුහු සියල්ලෝ ම පඤ්චාභිඥා අෂ්ට සමාපත්තීන් ඉපද වූ හ.

එසමයෙහි අනෝමදස්සී නම් බුදුහු ලොව පහළ වූ හ. නිසභ හා අනෝම යනුවෙන් අගසවු දෙනමක් වූ හ. දිනක් අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ සරද තවුසාණන් වෙත වැඩම කළහ. දෙ අග සවුවන් ප්‍රධාන ලක්ෂයක් රහතන් වහන්සේ තථාගතයන් පිරිවරා ගෙන හුන්හ. සරද තවුසාණෝ බුදුරදුන් ඇතුළු රහතන් වහන්සේට පුෂ්පාසන පැන වූ හ. සරද තාපසයෝ බුදුන් වහන්සේ ගේ මස්තකයෙහි මල් සතක් දරමින් සිටිය හ. අනතුරු ව ඔහුගේ සත්කාරය මහත් ඵල කරණු පිණිස බුදුහු නිරෝධ සමාපත්තියට සමවැදුණා හ. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි බුදුහු දකුණු පස වැඩ සිටි නිසභ තෙරුන් අමතා තාපසයනට පුෂ්පාසන මෝදනාව පවත්වන ලෙස වදාළ හ. නිසභ තෙරහු එසේ කළ හ. ඔබගේ දෙසුම් කෙළවර ද්විතීය ශ්‍රාවකයන් ඇමතූ හ. අනෝම තෙරහු ද දහම් දෙසූහ. සරද තාපසයන් හැර අනෙක් සූ සැත්තෑවක් පමණ වූ පිරිස රහත් වූ හ. සරද තවුසාණෝ අගසවු තනතුරු ලබන රිසින් සිිටි නිසා රහත් නො වූහ. ඔහු බුදුන් හට සතියක් මුළුල්ලෙහි පුෂ්පඡත්‍රය දරමින් කළ මහා සත්කාරය හේතුකොට ගෙන අනාගතයෙහි මේ නිසභ තෙරුන් මෙන් බුදු කෙනෙකුන්ට අග්‍රශ්‍රාවක වෙම්වා යි ප්‍රාර්ථනා කළ හ. බුදුහු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලොව පහළවන ගෞතම බුදුරදුන්ගේ සසුනෙහි ඒ බුදුන්ට සැරියුත් නමින් අගසවු තනතුරු ලබන බව වදාළ හ.

සිරිවඩු කෙළඹියා හට සිය යහළුවා ගේ මේ උදාර පින්කම පිළිබඳ තොරතුරු දන්වා යැවූ හ. ඔහු ද බුදු පාමොක් භික්ෂු සංඝයාට සත් දවසක් මහදන් පවත්වා භාග්‍යවතුන් වැඳ සිට හේ මෙසේ කී ය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! මාගේ යහළු සරද තාපසයෝ යම් බුදු කෙනකුන්ට අග්‍රශ්‍රාවක වෙම්වායි ප්‍රාර්ථනා කළාහු ද, මම ද ඔබට ම දෙවැනි ‍ශ්‍රාවක වෙමි”යි ප්‍රාර්ථනා කළ හ. බුදුහු ඔහුට ද විවරණ දී වදාළ හ.

අප බුදුරදුන් කලැ සරද තාපසයාණෝ රජගහ නුවරට නුදුරෙන් වූ උපතිස්ස නම් බමුණු ගම්හි සාරි බැමිණිය ගේ කුස පිළිසිඳ ගත් හ. සිරිවඩුහු ද රජගහ නුවරට නුදුරෙන් වූ කෝලිත බමුණු ගම් හී මොග්ගලී නම් බැමිණිය ගේ කුස පිළිසිඳ ගත්හ. දසමස් ඇවෑමෙන් පසු ලොව පහළ වූ හ. උපතිස්ස හා කෝලිත නමින් ඔවුන් දෙදෙනා හැඳින් වූ හ. ඔවුන්ට පන්සියය බැගින් පිරිවර සෙනග සිටිය හ. නොයෙක් ශිල්ප ශාස්ත්‍ර උගත් මේ තරුණ යහළුවන් දෙදෙනා මුල පටන් ම එකට හැසිරුණු මිතුරෝ වූ හ. ක්‍රීඩා නාටකයක් බලා සසර කලකිරී සසර දුකින් නිදහස් වීමේ උපාය මාර්ගයක් සොයමින් ඇවිදින්නට වූ හ.

එකල රජගහ නුවර මහත් ලාභයෙන් හා කීර්තිකාමිත්වයෙන් යුතු ව වෙසෙන සඤ්ජය නම් පරිව්‍රාජකයෙක් සිටියේ ය. උපතිස්ස කෝලිත දෙ යහළුවෝ පන්සියයක් අතවැසි පිරිස ගම්වලට යවා ඉතිරි පන්සියයක් අතවැසි පිරිස සමඟ සඤ්ජය තවුසාණන් ගේ අසපුවට ගොස් ඔහු ගුරු කොට තවුස් වෙස් ගත්හ. ඔවුහු ටික දිනකින් සඤ්ජය ගේ ධර්ම මාර්ගය ඉගෙන ගෙන තමන් සොයන නිවන් මග ඔහු ළඟ නො මැති බව තීරණය කොට එතැනින් ඉවත් ව ගිය හ. “දෙදනා ගෙන් යමෙක් පළමු කොට නිවන් ලැබූයේ නම් ඔහු අනිකා හට ද දැන්විය යුතු ය.” යනුවෙන් කතිකාවක් කරගෙන දඹදිව නොයෙක් ගම් නියම්ගම් වල හැසිරෙන්නට වූ හ. මෙසේ කතිකා කරගෙන රජගහා නුවර හැසිරෙන කලැ ප්‍රථම ධර්මදූත පිරිසට අයත් අස්සජි හිමියන් උපතිස්ස තරුණයා හට හමු විය. උන්වහන්සේ ගේ දර්ශන සම්පත්තියෙන් ම උපතිස්ස තරුණයා රහත්මඟට පිළිපන් උත්තමයකු බව දැන ගත්තේ ය. අස්සජි හිමියන් ළඟට පැමිණ ආචාර විධි දක්වා, “ඔබතුමා කවර ශාස්තෘවරයකු උදෙසා පැවිදි වූයෙහි ද? ඔබ වහන්සේ ගේ ආචාර්යවරයා කවුරුන් ද? ඔබ වහන්සේ කවරකු ගේ කිනම් ධර්මයකට රුචි කෙරෙහිදැ”යි ප්‍රශ්න කෙළේ ය.

අස්සජි හිමියන් ලෝකයේ ගෞතම බුදු පියාණන් වහන්සේ පහළ ව වැඩ වෙසෙන බවත් තමන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූ බවත් උන්වහන්සේ තමාගේ ආචාර්යවරයා බවත් තමා උන්වහන්සේ‍ ගේ ධර්මයට රුචි කරන බවත් උපතිස්ස තරුණයා හට ප්‍රකාශ කෙළේ ය. ඔහු ධර්මයක් දේශනා කරන ලෙස දැන් වූ විට, තමන් වහනසේ ශාසනයට අලුත ඇතුළත් වූ කෙනෙකු බව පළමුවෙන් ප්‍රකාශ කොට සියලු බුද්ධ වචනය ම ගැබ් කොට මේ ගාථාව වදාළ හ.

“යෙ ධම්මා හෙතුප්පභවා - තෙසං හෙතුං තථාගතො ආහ

තෙසං ච යො නිරොධො - එවං වාදි මහා සමණො”

“යම් ධර්ම කෙනෙක් හේතු ප්‍රත්‍යයයෙන් උපදිත් ද, ඔවුන් ගේ හේතුව තථාගතයන් වහන්සේ වදාළ හ. ඔවුන් ගේ යම් නිරෝධයෙක් වේ ද, එය ද වදාළ හ. මහා ශ්‍රමණ තෙමේ මෙබඳු වාද ඇත්තේ ය.”

ඉක්බිති උපතිස්ස තරුණයා මේ ධර්ම චක්‍රය ඇසීමෙන් සෝවාන් විය. (මෙහි දී උපතිස්ස පරිව්‍රාජකයා ගාථාවේ පළමු දෙ පදය අසනවාත් සමග ම සෝවාන් විය. ඉතිරි දෙ පදය අසන ලද්දේ සෝවාන් වීමෙන් පසුව ය.)

මේ ගාථාව ශ්‍රවණය කිරීමෙන් පසු උපතිස්ස පරිව්‍රාජකයා අස්සජි හිමියනට ස්වකීය ප්‍රසාදය පළකොට බුදුන් දැකීමට යහළුවාත් සමඟ වේළුවනාරාමය වෙත පැමිණෙන බව ද දන්වා සිය යහළු කෝලිත පරිව්‍රාජකයා සොයාගෙන ගියේ ය. උපතිස්ස ඈත එනු දුටු කෝලිත පරිව්‍රාජකයා සිය යහළුවා නිවන් ලබන ලදැයි සිතා ඒ ගැන විච‍ාළේ ය. උපතිස්ස තෙමේ අස්සජි හිමියන් විසින් වදාළ ගාථාව ප්‍රකාශ කෙළේ ය. එය අසා කෝලිත ද සෝවාන් විය.

අනතුරු ව උපතිස්ස - කෝලිත දෙදෙනා සඤ්ජය ගේ ආශ්‍රමයට ගොස් බුදුරදුන් වෙත පැමිණීමට කථා කළ හ. එහෙත් ඔහු නො කැමති විය. උපතිස්ස - කෝලිත දෙනො පරිව්‍රාජක පිරිස දෙසිය පනසක් දෙනා සමඟ වේළුවනාරාමයට ගිය හ. සිවු පිරිස මැද ධර්ම දේශනා කරන බුදුපියාණන් වහන්සේ දුර එන්නා වූ ඔවුන් දැක භික්ෂූන් අමතා, “මහණෙනි, මා කරා පැමිණෙන්නා වූ තෙල පරිව්‍රාජකවරු දෙදෙනා මාගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවකයෝ දෙදෙනා වෙති”යි වදාළ හ. බුදුරදුන් වෙත පැමිණි ඔවුනට ධර්ම දේශනා කළහ. කෝලිත - උපතිස්ස දෙදෙනා හැර සියලු දෙනා ම රහත් වූ හ. අනතුරුව පැවිද්ද හා උපසම්පදාව ඔවුනට දුන් හ. උපතිස්ස කෝලිත දෙදෙනා හට ප්‍රථම සංඝ සන්නිපාතය වූ දිනයේ අග්‍රශ්‍රාවක තනතුරු දී වදාළහ. උපතිස්ස තෙරෙම් රූපසාරී නම් බැමිණිය ගේ පුත්‍රයා හෙයින් සාරිපුත්ත යනුවෙන් ද කෝලිත තෙමේ මොග්ගලී නම් බැමිණිය ගේ පුත්‍රයා හෙයින් මොග්ගල්ලාන යනුවෙන් ද ප්‍රකට වූ හ. ධර්මසේනාධිපති සැරියුත් මාහිමියෝ ප්‍රඥාවන්ත භික්ෂූන් අතුරෙන් අග්‍ර ය. මහාර්ධිලාභී මුගලන් මාහිමියෝ ඍද්ධිවන්ත භික්ෂූන් අතුරෙන් අග්‍රය හ.

ධම්මසේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේ සිය මෑණියන් වන සාරි බැමිණිය මිථ්‍යා දෘෂ්ටියෙන් මුදවා ඇය සම්‍යක්දෘෂ්ටික තැනැත්තියක බවට පත්කොට සෝවාන් ඵලයට පමුණුවා එදවස ම පිරිනිවන් පෑ වදාළ හ. උන්වහන්සේ ගේ පරිනිර්වාණය සිදුවූයේ මගධ ජනපදයෙහි නාලක නම් තමන් වහන්සේ උපන් ගම්හිදී ය. මුගලන් මහ රහතන් වහන්සේ සැරියුත් මාහිමියන් මෙන් නානාප්‍රකාර ප්‍රාතිහාර්යයන් දක්වා ධර්ම දේශනා කොට බුදුරදුන් වැඳ අවසර ගෙන කළුගල් ලෙනට වැඩ පිරිනිවන් පෑ සේක. සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ගේ පරිනිර්වාණය සිදුවූයේ බුදුරජාණන් වහන්සේ ගේ පිරිනිවීමට ප්‍රථමයෙනි. මුගලන් හිමියන් ගේ පිරිනිවීම සිදුවූයේ සැරියුත් හිමියන් ගේ පිරිනිවීම සිදු වූ ඉල් පුනු පොහොයන් අඩමසක් ගත වූ උඳුවප් මස කාලපක්ෂ උපෝසථ දිනයේ යි.

ඕවාද ප්‍රාතිමෝක්ෂය

නවම් පුනු පොහෝදා සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු දී පසුව මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්ෂය බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය ප්‍රථම බෝධියෙහි (විසිවසක්) පිරිසිදු ව නො කැළැල් ව පැවතුණි. එබැවින් ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයන් ගේ වැරදි පිළිබඳ ව විනය ශික්ෂාපද පැනවීමට කරුණක් ඉදිරිපත් නො වී ය. භික්ෂූන් ගෙන් එබඳු වැරදි සිදු නො වී ය. ප්‍රථම බෝධියෙහි අල්පරජස්කයෝ ම බහුල වූ හ. රහත්හු සුලභ වූ හ.

එබැවින් මුල් අවුරුදු විස්ස තුළ ශ්‍රාවකයනට ඕවාද ප්‍රාතිමෝක්ෂය හික්මීම පිණිස වදාළ හ. ආණා ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමක් නැත. මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය සියලු බුදුවරයන් වහන්සේලා‍ ගේ අනුශාසනාවෝ වෙති. සියලු බුදුවරයන් වහන්සේලාගේ ශාසන පරමාර්ථ වශයෙන් එක සමාන ය. එහෙත් ශාසනායුෂ වශයෙන් විවිධත්වයක් ඇත. වැඩි ආයුෂ ඇති බුදුවරයන්ගේ ශාසන සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු වැඩි කල් පවත්නේ නො වෙයි. අඩු ආයුෂ ඇති බුදුවරයන්ගේ ශාසන බුද්ධ පරිනිර්වාණයෙන් පසුවත් බොහෝ කලක් පවතින්නේ ය. අවවාද ප්‍රාතිමෝක්ෂය ශාසනාන්තර්ධානය දක්වා ම උදෙසීම දීර්ඝායුෂ්ක බුද්ධ ශාසනවල සිරිත ය. අල්පායුෂ්ක බුදුවරයන්ගේ ශාසනවල ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නේ ප්‍රථම බෝධියේ දී එනම්, මුල් අවුරුදු විස්ස ඇතුළත පමණකි.

අතීතයෙහි ලොව පහළ වූ විපස්සී නම් බුදුරදුන් ගේ පරමායුෂ අවුරුදු අසූදහසකි. සිඛී නම් බුදුරදුන් ගේ පරමායුෂ අවුරුදු හැත්තෑ දහසෙකි. වෙස්සභූ බුදුරදුන් හට අවුරදු හැට දාහකි. කකුසඳ බුදුරදුන් හට හතළිස් දහසකි. කෝණාගමණ බුදුරදුන් හට අවුරුදු තිස් දහසකි. කාශ්‍යප බුදුරදුන් ගේ පරමායුෂ වර්ෂ විසි දහසකි. අප ගෞතම බුදුරදුන්ගේ ආයුෂ අවුරුදු අසූවකි. මෙසේ හෙයින් දිර්ඝායුෂ්ක - අල්පායුෂ්ක වශයෙන් ශාසනායුෂවල විවිධත්වයක් ඇති බව සැලකිය යුතු ය. ඕවාද ප්‍රාතිමෝක්ෂය වශයෙන් හඳුන්වනු ලබන ගාථා තුන මෙසේ ය.

1. ඛන්තී පරමං තපො තිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
නහී පබ්බජිතො පරූපඝාති
සමණො හොති පරං විභෙඨයන්තො


2. සබ්බපාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධාන සාසනං


3. අනූපවාදො අනූපඝාතො පාතමොක්ඛෙ ච සංවරො
මත්තඤ්ඤුතා ච භත්තස්මිං - පන්තං ච සයනාසනං
අධිචිත්තෙ ච ආයොගො එතං බුද්ධානසාසනං

(ධම්මපද - බුද්ධවග්ග)

1. ඉවසීම් සංඛ්‍යාත ක්ෂාන්තිය ඇති තපස උතුම් ය. ශාන්ති ලක්ෂණ නිර්වාණය උත්තමය යි සියලු බුදුවරු වදාරති. අනුන් දිවි නසන තැනැත්තේ පැවිදි නම් නො වෙයි. අනුන් පෙළන තැනැත්තේ මහණෙක් නම් නො වෙයි.

2. කායාදී ද්වාරත්‍රයයෙන් සිදුවන්නා වූ ප්‍රාණඝාතාදී සියලු අකුශල කර්ම නො කිරීම ද, සියලු ලෞකික ලෝකෝත්තර කුශලයන් ඉපදීම ද, උපදවන ලද කුශලයන් වැඩීම ද, පඤ්ච නීවරණයන් කෙරෙන් සිත පිරිසිදු කිරීම ද යන මේ කරුණු සියලු බුදුවරයන් ගේ අනුශාසනා යි.

3. ජාත්‍යාදීන් පරහට ආක්‍රෝශාදී වශයෙන් වචනයෙන් උපවාදයක් නො කිරීමත්, පාණි ප්‍රහාරාදී වශයෙන් පරහට කයින් උපඝාතයක් නො කිරීමත්, ප්‍රාතිමෝක්ෂ සංවරශීලය මනාව රැකීමත්, ආහාරයෙහි මාත්‍රඥතාවත් (ආජීව පාරිශුද්ධිය) ජනවිචික්ත වූ ප්‍රාන්ත සේනාසනයන්හි ඇලීමත් සමථ විපස්සනා භාවනාවන්හි නිතර යෙදීමත් සියලු බුදුවරයන්ගේ අනුශාසනා යි.

මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය බුදුරජාණන් වහන්සේ භික්ෂූනට දේශනා කොට වදාළේ නවම් පුනු පොහෝ දිනයක ය. දඹදිව මධ්‍ය මණ්ඩලයෙහි විසිරී පැතිර සිටින ශ්‍රාවක සංඝයා එක් තැනකට රැස් කොට සය මසකට හෝ තෙ මසකට හෝ මසකට හෝ වරක් බුදුරජාණන් වහන්සේ මේ ‍ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සිරිතකි. ශ්‍රාවක භික්ෂු සංඝයාගේ හික්මීමට ප්‍රථම බෝධිය‍ෙහි දී එය ප්‍රමාණවත් විය. අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් ප්‍රථම බෝධියෙහි දී ස්වකීය ශ්‍රාවකයන් හට ඕවාද ප්‍රාතිමෝක්ෂය වදාරණ ලදී. අවුරුදු විස්සෙන් පසුව ආණා ප්‍රාතිමෝක්ෂය වදාළ හ. ප්‍රථම බෝධියෙහි අල්පරජස්කයෝ ම බහුල වුවත් පසුව මහා රජස්ක පද පරම පුද්ගලයෝ ද පැවිදිවන්නට වූහ. එහෙයින් කෙනෙක් බුදුහු හඳුනති. කෙනෙක් නො හඳුනති. කෙනෙක් සුවච වෙති. කෙනෙක් දුර්වච වෙති. පූර්ව භික්ෂු සමාජයෙහි එනම්, ප්‍රථම බෝධියෙහි භික්ෂූන් අතර තිබුණු නිර්මල තත්ත්වය පශ්චාත් භාගයෙහි ක්‍රමයෙන් දුර්වල වෙන්නට විය. පසු ව බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා ගේ සුඛ විහරණය ආදී දස කරුණක් නිමිතිකොට සිකපද පනවන ලදී.

ආයුසංස්කාරය හැරීම

සැරියුත් - මුගලන් අගසවු හිමිවරුන් ගේ පිරිනිවීමෙන් පසු තථාගතයන් වහන්සේ රජගහ නුවරින් නික්ම චාපාල චෛත්‍යය වෙත වැඩිය හ. එහි දී බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා, “ආනන්දය, සතර ඉර්ධිපාද වැඩුවහුට කැමති නම් කල්පයක් (ආයුස්කල්පයක්) වුව ද ජීවත් විය හැකිය” යි වදාළ හ. බුදුරජාණන් වහන්සේ තෙවරක් ම මේ අදහස ප්‍රකාශ කළ නමුත් ආනන්‍ද හිමියන්ට මාරාවේශ වී සිටි හෙයින් සිහි එළවා ගත නො හී බුදුරජාණන් වහන්සේට කල්පයක් වැඩ සිටින්නට ආරාධනා කළ නො හැකි විය. ආනන්ද හිමියන් ගේ පමාවක් බලා සිටි මාරයා අවුත් බුදුරදුන්ට පිරිනිවන් පාන සේ ආරාධනා කෙළේ ය. තථාගතයන් වහන්සේ තුන් මසකින් පිරිනිවන් පාන බව මාරයාට වදාළ සේක. භාග්‍යවතුන් වස්සේ, “ඉදිරි තුන් මාසය පමණක් සමාපත්තියට සමවැද ඊට පසු නො සමවදින්නෙමි”,යි අධිෂ්ඨාන කොට ආයුසංස්කාරය හැරියහ. ආයුසංස්කාරය හැරීම යනුයෙන් අදහස් කරනුයේ මෙතෙක් කාලයකින් පිරිනිවන් පාන්නෙමි යි කාලය සීමාකර ගැනීම යි. තථාගතයන් වහන්සේ ආයුසංස්කාරය අත්හළ කෙණෙහි ම මහාභූමි චලනයෙක් වීය. පසුව ආනන්ද හිමියන් බුදුුරජාණන් වහන්සේට කපක් වැඩ සිටින්නට (ආයු කල්පයක්) ආරාධනා කළ නමුත් ආයුසංස්කාරය හළ බැවින් තව තුන් මසකින් පිරිනිවන් පාන බව වදාළ හ. චාපාල චෛත්‍යයෙන් විසල් පුරයට වැඩම කළ තථාගතයන් වහන්සේ කූටාගාරයට රැස් වූ භික්ෂූන් අමතා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වදාරා අන්තිම අවවාදය ද කළහ.

බුදුරජාණන් වහන්සේ පාවා නගරයට වැඩම කොට චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹවනයෙහි විසූ සේක. ඔහු ගේ ආරාධනයෙන් භාග්‍යවතුන් වහන්සේ අන්තිම දානය වළඳා ඔහුට අනුමෙවෙනි බණ වදාළ හ. ලෝහිත පක්ඛන්දිකා රෝගය සමාපත්ති බලයෙන් දසමසකට මතු නො වන ලෙස යටපත් කොට තිබුණි. චුන්ද ගේ දානය වැළඳූ දිනට ඒ දස මස සම්පූර්ණ විය. එහෙයින් නැවැතත් රෝගය මතුවුණි. ‍එහෙත් චුන්ද ගේ ප්‍රණීත ආහාරය නිසා රෝගය උත්සන්න නො වී ය. සමාපත්ති බලයෙන් රෝගය යටපත් කර ගන්නට හැකි නමුත් බුද්ධ ශරීරයට ද රෝග පීඩාදිය පොදු ධර්මතා බව ලෝකයා හට අවබෝධ කරනු පිණිස බුදුරජාණන් වහන්සේ එය නො කළහ.

පාවා නගරයෙන් පිටත් වූ තථාගතයන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජවරුන් ගේ උපවර්තන නම් සල් උයනට වැඩම කොට යමක ශාල වෘක්ෂයන් අතරෙහි පනවන ලද ආසනයෙහි සැතපුණු සේක. එකල්හි දෙව් බඹ පිරිස අහසෙහි සුවඳ මල්, සුවඳ සුනු විසුරුවා දිව්‍ය සංගීතාදිය පැවැත් වූහ. සුභද්‍ර නම් පරිව්‍රාජකයෙක් සම්බුද්ධ පරිනිර්වාණ ප්‍රවෘත්තිය අසා බණ අසනු පිණිස අවුත් ආනන්ද හිමියනට දැන්වී ය. තෙවරක් ම දැන් වූ නමුත් ආනන්ද හිමියෝ එය බුදුරජාණන් වහන්සේට වෙහෙසක් වන බව සිතා ඔහුගේ ඉල්ලීමට ඉඩ නො දුන්හ. පසුව තථාගතයන් හට මේ කාරණය දැන ගන්නට ලැබී තමන් වහන්සේ වෙත පැමිණීමට සුභද්‍රට අවසර දුන් හ. බුදුරදුන් වෙත පැමිණි සුභද්‍ර පරිව්‍රාජකයා හට ‍ධර්ම දේශනා කළහ.

“සුභද්‍රය එකුන් තිස් වියේදී සත්‍යය සොයා ගිය මම යම් දිනයක පැවිදිවීම් ද, එදා පටන් අද වන තෙක් අතර කාලය අවුරුදු පනස් එකක් වේ. මේ කාලයෙහි චතුරාර්‍ය්‍ය සත්‍යය තබා විදර්ශනා ප්‍රඥාව දියුණු කරන කිසි ම පුද්ගලයෙකු මේ සස්නෙන් පිටත්හි නො දුටුවෙහි. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර වූ කිසිම ශාසනයක (ආගමයක) ආර්ය මාර්ගයට පැමිණි කිසිම (ගිහියකු තබා) මහණෙක්වත් ඇති නො වේ.” යනුවෙන් වදාළහ.

මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රථම - ද්විතීය - තෘතීය චතුර්ත්ථ ශ්‍රමණයන් පිළිබඳ ව සඳහන් කරමින් සෝවාන්, සෙදගැමි, අනගැමි, රහත් යන චතුර්විධ ශ්‍රමණවරු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ප්‍රකාශිත ධර්ම විනයෙහි ලැබෙන බව වදාළහ. ධර්ම දේශනාව අවසනැ සුභද්‍ර තෙමේ තෙරුවන් සරණ ගොස් පසුව පැවිද්ද හා උපසම්පදාව ලබා නොබෝ කලකින් සියලු කෙලෙසුන් නසා රහත් විය. බුදුරජාණන් වහන්සේ ගේ අන්තිම ශ්‍රාවකයා වීමේ ගෞරවය හිමිවනුයේ සුභද්‍ර හටය.

අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධ්‍යානයේ පටන් නිරෝධ සමාපත්තියට ද, නිරෝධ සමාපත්තියේ පටන් ප්‍රථම ධ්‍යානයට ද අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සම වැදී එයින් නැගිට සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව ප්‍රකට කරමින් නිරුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවි සේක. ආයුසංස්කාරය අත් හැරීම පිළිබඳ විස්තරයට අනෙක් පරිනිර්වාණය දක්වා වූ තුන් මාසය තුළ කරුණුත් සංකේෂේපයෙන් මෙසේ දැක්වූයේ මුල් කරුණු වලට ප්‍රයෝජනවත් වන හෙයිනි.

© පොහොය වර්ණනාව
අතිපූජනීය මාපලගම සිරිසෝමිස්සර ස්වාමීන්වහන්සේ

🙏🙏🙏
10/02/2022

🙏🙏🙏

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Association of Pali & Buddhist Studies - University of Ruhuna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Association of Pali & Buddhist Studies - University of Ruhuna:

  • Want your university to be the top-listed University?

Share