08/07/2026
2026 / 07 / 07
පීඨාධිපති,
කළමනාකරණ හා මූල්ය පීඨය,
රුහුණ විශ්වවිද්යාලය,
මාතර.
ගරු පීඨාධිපතිතුමනි,
ඩෙංගු හා වයිරස් උණ රෝගයේ දැඩි ව්යාප්තිය හේතුවෙන් සිසුන්ගේ ජීවිත හා සෞඛ්ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වහාම කඩිනම් ක්රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටීම සම්බන්ධවයි.
මේ වන විට රුහුණ විශ්වවිද්යාලය අවට ප්රදේශයන්හි ඩෙංගු සහ අනෙකුත් වයිරස් උණ රෝග ඉතා වේගයෙන් ව්යාප්ත වෙමින් පවතින අතර, එහි සෘජු බලපෑම කළමනාකරණ හා මූල්ය පීඨයේ ශිෂ්ය ශිෂ්යාවන්ටද එල්ල වී තිබේ. දිනෙන් දින රෝගී වන සිසුන් සංඛ්යාව ඉහළ යමින් පවතින අතර, රෝහල්ගතව ප්රතිකාර ලබන සිසුන්ද සිටින බව අප වෙත වාර්තා වී ඇත. මෙය තවදුරටත් සාමාන්ය තත්ත්වයක් ලෙස නොසලකා හැරිය යුතු, සිසුන්ගේ ජීවිත හා සෞඛ්යයට සෘජු බලපෑමක් ඇති කරන බරපතළ මහජන සෞඛ්ය ගැටලුවකි.
එවැනි පසුබිමක් තුළද, 80% පැමිණීමේ අවශ්යතාව මත සිසුන් මානසික පීඩනයකට ලක් කිරීම කනගාටුවට කරුණකි. පැමිණීමේ ප්රතිශතය අහිමි වේයැයි ඇති බිය නිසා රෝග ලක්ෂණ සහිත සිසුන් පවා දේශන සඳහා පැමිණීමට පෙළඹීම, ඔවුන්ගේ සෞඛ්යය තත්වය තවදුරටත් පිරීහීමට, රෝගය තවදුරටත් පීඨය තුළ ව්යාප්ත වීමටත්, අනෙකුත් සිසුන්, ආචාර්යවරුන් හා අනධ්යයන කාර්ය මණ්ඩලයද අවදානමට පත් කිරීමටත් හේතු විය හැකිය. මෙය අධ්යයන කටයුතු පවත්වාගෙන යාමේ ගැටලුවක් පමණක් නොව, ආයතනයේ සෞඛ්ය හා ආරක්ෂක වගකීම සම්බන්ධ ගැටලුවකි.
සෑම ශිෂ්යයෙකුගේම ප්රතිශක්තිය එක හා සමාන නොවේ. ඇතැමුන්ට සාමාන්ය උණ තත්ත්වයක් ලෙස පෙනෙන රෝගයක්, තවත් අයෙකුගේ ජීවිතයට දැඩි අවදානමක් විය හැකිය. එබැවින්, සිසුන්ගේ ජීවිතවලට සිදුවිය හැකි හානියක් සිදුවීමෙන් පසු ප්රතිචාර දැක්වීම වෙනුවට, එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා පෙර සූදානම් වූ, වගකීම් සහගත හා මානුෂීය ක්රියාමාර්ග ගැනීම පීඨ පරිපාලනයේ වගකීමකි.
එබැවින්, කළමනාකරණ හා මූල්ය පීඨ ශිෂ්ය සංගමය ලෙස අප ඉල්ලා සිටින්නේ,
* මෙම සෞඛ්ය අවදානම සම්බන්ධයෙන් වහාම නිල අවදානම් තක්සේරුවක් සිදුකර සුදුසු පියවර ප්රකාශයට පත් කරන ලෙස.
* රෝගී සිසුන්ට කිසිදු අසාධාරණයක් නොවන පරිදි 80% පැමිණීමේ ප්රතිපත්තිය සඳහා තාවකාලික සහනයක් ලබාදෙන ලෙස.
* අවශ්ය කාලසීමාව තුළ වෙනත් සුදුසු අධ්යයන විකල්ප ක්රමවේද ක්රියාත්මක කරන ලෙස.
* පීඨය සහ අවට පරිශ්රය තුළ ඩෙංගු මර්දන හා සනීපාරක්ෂක වැඩසටහන් කඩිනමින් ක්රියාත්මක කරන ලෙස.
* සිසුන්ගේ සෞඛ්යය ආරක්ෂා කිරීම සඳහා පීඨය ගන්නා ක්රියාමාර්ග පිළිබඳ නිල නිවේදනයක් හැකි ඉක්මනින් නිකුත් කරන ලෙස.
ශිෂ්යයන්ගේ ජීවිත හා සෞඛ්යය කිසිදු අවස්ථාවක පැමිණීමේ ප්රතිශතයකට හෝ පරිපාලන ක්රියාපටිපාටියකට වඩා පහළින් තැබිය නොහැක. වර්තමාන තත්ත්වය හමුවේ සිසුන්ගේ ආරක්ෂාවට ප්රමුඛත්වය ලබාදීම විශ්වවිද්යාලයේ සදාචාරාත්මක හා ආයතනික වගකීමකි.
එබැවින්, මෙම බරපතළ තත්ත්වය තවදුරටත් ප්රමාද නොකර, සිසුන්ගේ ජීවිත සමඟ අවදානම් සහගත තත්ත්වයක් නිර්මාණය නොවන අයුරින්, කඩිනම්, සාධාරණ හා මානුෂීය තීරණ ගන්නා ලෙස අපි ගෞරවයෙන් නමුත් දැඩි ලෙස අවධාරණය කර සිටිමු.
අද ගනු ලබන නිවැරදි තීරණ, හෙට දින සිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට හේතු විය හැකිය. එබැවින් මෙම ඉල්ලීම අතිශය හදිසි කරුණක් ලෙස සලකා වහාම අවශ්ය ක්රියාමාර්ග ගන්නා ලෙස නැවතත් ඉල්ලා සිටිමු.
ස්තූතියි.
මෙයට,
සභාපති
කළමනාකරණ හා මූල්ය පීඨ ශිෂ්ය සංගමය
රුහුණ විශ්වවිද්යාලය.